හරිත දැක්මක් සමග තිරසර අනාගතයක් වෙනුවෙන් පැල 6000ක් පැලකරමින්, Orient Finance PLC සිය 42 සංවත්සරය සමරයි

    August, 14, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් සහ ජනශක්ති සමූහයට අයත් ආයතනයක් වන  Orient Finance PLC ආයතනය පසුගියදා සිය 42වැනි සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය. මෙම සුවිශේෂී මොහොත පරිසර හිතවාදී මානවීය අරුතකින් සැමරීම වෙනුවෙන් රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කළ එම ආයතනය හරිත දැක්මකින් තිරසර අනාගතයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිව සංවත්සරීය උළෙලකට නව මානයක් එක් කිරීමට පෙරමුණ ගත්තේය.

    මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය තුළින් විල්පත්තු ජාතික වන භූමිය, ජලපෝෂක කලාපයක් වූ වනාතවිල්ලුවේ සිට අනුරාධපුර, කිලිනොච්චි සහ මන්නාරම දක්වා අලුතින් පැල සිටවීම සිදුකරයි. මෙම හරිත වැඩසටහන හරහා ජනතාව සමග තිරසර අනාගතයක් කරා පියනැගීම උදෙසා ආයතනයේ කැපවීම මනාව පැහැදිළි වෙයි.

    Orient Finance ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා, සිය ආයතනයේ සංවත්සරය වෙනුවෙන් ආරම්භ කළ මෙම තිරසර වන වගා ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.“ පරිසර හිතකාමී ආයතනයක් ලෙස විල්පත්තු කලාපය ආශ්‍රිතව මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම ගැන අප ඉතාම සතුටු වෙනවා. පරිසරය අසමතුලිත කිරීමට බලපාන මානව ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරමින් ඒවා අවම කිරීමට සක්‍රීය දායකත්වයක් ලබාදීම ආයතනයක් ලෙස පමණක් නෙවෙයි මිනිසුන් හැටියටත් අපේ වගකීමක්. Orient Finance පරිසරයට ධනාත්මක සහ තිරසර දායකත්වයක් ලබාදීමට හැමදාමත් කැපවෙලා වැඩකරනවා. මේ රුක් රෝපණ වැඩසටහන අපේ ඒ හරිත දැක්මේ එක් සංධිස්ථානයක් පමණයි. ඉදිරි වසර වලදී ආයතනයේ හරිත දැක්මට අනුව විවිධ තිරසර වැඩසටහන්, ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරමින් ඉදිරි පරම්පරාවට ලෝකය යහපත් තැනක් කිරීමට අපි නොපිරිහෙලා අපේ දායකත්වය ලබා දීමට සූදානම්ව සිටිනවා.”

    මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය හරහා වන විනාශය අවම කිරීමට සහ වන භූමි අහිමි වීම නිසා වන සතුන්ට සිදුවන හානිය අවම කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම Orient Finance අපේක්ෂා කරයි. එසේම වන සතුන්ට ඔවුන්ගේ භූමියේ අවශ්‍යතා සපුරා ගනිමින් ආරක්ෂාකාරීව සැරිසැරීමට අවකාශය ලබාදීම තුලින් පාරිසරික සමතුලිතතාව වර්ධනය කිරීමට අනුබල සපයයි. මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සාධනීය බලපෑමක් කළ හැකි රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, සමාජ කණ්ඩායම්, පරිපාලන ව්‍යූහයන් ආදී විවිධ කොටස්කරුවන් සමග Orient Finance ආයතනය අත්වැල් බැඳගත්තේය. මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා එකිනෙකට විවිධත්වයෙන් යුත් අත්දැකීම්වලින් සහ සම්පත් දායකත්වයෙන් දිගු කාලීන තිරසර බලපෑමක් ඇති කිරීමට හැකි උපරීම දායකත්වය ලබාගැනීම මෙහි අපේක්ෂාවයි.

    රටේ පුරෝගාමී මුල්‍ය ආයතනයක් ලෙස වසර 42ක වෘත්තීය විශිෂ්ටත්වය සමරන Orient Finance ආයතනය, පරිසරයට තිරසරභාවයක් ගොඩනැංවීම වෙනුවෙන් නොපැකිලව ඉදිරිය පැමිණෙයි. පරිසරයට සුබවාදී බලපෑමක් කරන මෙම රුක් රෝපණ ව්‍යපෘතිය එම හරිත හිතවාදී ගමනේ මූලික සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. ඉදිරියටත් මෙවන් තිරසර වැඩසටහන් සංකල්ප ආරම්භ කරමින් ඉදිරියට යාමට ආයතනය අපේක්ෂා කරයි.

    මුල්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 42ක පළපුරුද්ද සමග මුල්‍ය ස්ථාවරත්වය, මුල්‍ය ශක්තිය, විශ්වාසනීයත්වය සහ විශේෂඥතාවය ඇති ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුගේ භුමිකාවක් Orient Finance PLC ඉටුකර තිබේ. එසේම ජංගම ඉතුරුම් සේවා,ඉතුරුම් ගිණුම්, ලීසිං, රන් ණය, විකල්ප මුල්‍ය විසඳුම්, ආයතනික මුල්‍ය සහ තවත් විවිධ සේවාවන් පාරිභෝගිකයන්ට ලබාදෙයි. පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් මුල්‍ය සේවා සපයන්නෙකු ලෙස සීමා මායිම් අභිබවන නව්‍ය මුල්‍ය සේවාවන් සහ වඩාත් ලෙංගතු පාරිභෝගික සේවාවක් සමීප කරමින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මුල්‍ය සාර්ථකත්වය ළඟා කිරීමේ සමීප මගපෙන්වන්නෙකු ලෙස සිය අභිමානය සහ ආයතනික පිළිබිඹුව ස්ථාපිත කරගැනීමට Orient Finance PLC සමත් වී තිබේ. මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක් වන Orient Finance PLC ආයතනය LRA මගින්  BB+ (stable) ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තිබේ.    

    ඡායාරූප විස්තරය - Orient Finance ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා