හවුල්කාර රටවලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්න අනු කමිටුවෙන් උපදෙස් 

    March, 14, 2022

    චීනය, ජපානය සහ මැදපෙරදිග කලාපයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය මස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය, විදේශ   කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 9 සහ 10 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී පළමු වරට රැස් විය. සිය කාර්යයන් ඇරඹූ මෙම කමිටු ත්‍රිත්වය, අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, අලි සබ්රි, රමේෂ් පතිරණ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මූලික රැස්වීම් කැඳවී ය.

    ‘ආර්ථිකය සහ ඉදිරි ගමන 2022’ යන තේමාව යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය සහ කාර්මික භාණ්ඩ මෙරටට ආනයනය කරන රටවල් සමඟ, එවැනි ද්‍රව්‍ය ආනයනය කිරීමේ විකල්ප හඳුනාගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම කමිටු පත් කරන ලදි. අපගේ විශ්වාසනීය වෙළඳ හවුල්කරුවන් සමඟ එක්ව, වෙළඳාමට සහය වන පහසුකම් නිර්මාණය කිරීම සඳහා වන ඉදිරි ආර්ථික ගමන පිළිබඳව ගවේෂණය කිරීමේ අරමුණින්  ජනාධිපතිවරයා  මෙම කැබිනට් අනු කමිටු පත් කොට ඇති බව, මෙම කමිටුවේ සභාපතිත්වය දරන විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා පෙන්වා දුන්නේ ය.

    අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වෙළඳාම, රැකියා සහ විදේශ ප්‍රේෂණ වැනි විවිධ කරුණු පිළිබඳ දැනුම්වත් කිරීම් සිදු කරන ලදි. යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින සාකච්ඡාවලට අදාළ වත්මන් ප්‍රගතිය, චීනය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව විසින් දැනුම්වත් කෙරුණු අතර, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කළ හැකි ඉදිරි පියවර හැකි ඉක්මණින් ගැනීම සඳහා කමිටුව සිය එකඟත්වය පළ කළේ ය.

    ආර්ථික ස්ථාවරත්වය සහ වේගවත් ප්‍රගතියක් ළඟා කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවට තම හවුල්කාර රටවලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක්, සියලුම අමාත්‍යාංශ සහ ආයතනවලින් ලබා ගන්නා ලෙස, අනු කමිටු විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.