හානියට පත් ව්‍යාපාර පිළිබඳ සංගණනයක් ඇරඹෙයි

    May, 29, 2017

    කොළඹ වානිජ මණ්ඩලය හා අන්තර්ජාතික රතු කුරුස සමාජය එක් වී හානියට පත් වූ ව්‍යාපාර පිළිබඳ සංගණනයක් මේ වන විට අරඹා තිබෙන බවත් බොහෝ දුරට ඉදිරි සතිය ඇතුළත මෙම ගණනය කිරීම අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ආචාර්ය අමිල කන්කානම්ගේ පැවසීය. අද දෙරණ හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු විසින් මේ බව අනාවරණය කරන ලදී. ආචාර්ය අමිල කන්කානම්ගේ කොළඹ වානිජ මණ්ඩලයේ සභාපතිවරයා වන අතර ඔහු ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මූල්‍ය කොමිසම් සාමාජිත්වයද දරනු ලබයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අමිල කන්කානම්ගේ මෙසේ අදහස් දැක්වීය.

    “ලංකාවේ සියයට 80 ක් ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. මෙම ව්‍යසනයේ දී වැඩි වශයෙන් ව්‍යාකූලත්වයට පත්වෙලා සිටින්නේ ඔවුන්. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සියයට 90 කට පමණ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා රක්ෂණාවරණ නැහැ. මේ නිසා යම් හානියක් සිදු වුණාම ඔවුන්ට යථා තත්ත්වය පත්වෙන්න ඇති හැකියාව සීමිතයි. මෙම ව්‍යසනයට මුහුණ දුන් සියලුම ව්‍යාපාරිකයින් නැවත නගා සිටුවීමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. එය මේ අවස්ථාවට පමණක් නොවේ, දීර්ඝ කාලීනව සැලසුම් කර ගත යුතු පියවරක්. ඒ වෙනුවෙන් රජය වානිජ මණ්ඩල වැනි ආයතන සමග එක් වී ඊට මැදිහත් විය යුතුයි.“

    “ඉදිරි දින කිහිපය තුළ මෙම ව්‍යවසනයේ බරපතළ තත්ත්වය ක්‍රමයෙන් පහව යන විට ආර්ථිකයට සිදුවී ඇති හානියේ සැබෑ තත්ත්වය තහවුරු කර ගත හැකියි. අපි දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරගෙන යනවා. ඔවුන්ගේ වැඩසටහනක් තිබුණා Back to Business කියලා. එය නැවත ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන්න අපි සාකච්ඡා කර ගෙන යනවා. එහෙම වුණොත් මේ හානියට පත් ව්‍යාපාරිකයින්ට අත දෙන්න අපට අවස්ථාව ලැබෙනවා.“