හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බව ඇමති ජෝන් සෙනෙවිරත්න කියයි

    December, 10, 2019

    මෙරට දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කල නොහැකි බවත්, ඒ සදහා හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. මේ සදහා තල් සහ කිතුල් ආශ්‍රිත ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කල යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා සදහන් කළේ.

    තල් ආශ්‍රිත නිපැයුම් ප්‍රවර්ධනය තුළින් තල් කර්මාන්තයේ වර්ධනය උදෙසා තල් නිෂ්පාදන සහයකවරුන් දස දහසක් බිහිකිරීම සදහා වන තල් අරණ ව්‍යාපෘති වැඩසටහන පිලිබදව අමාත්‍යාංශයේදී අද (10) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා  මේ බව සදහන් කළේය.

    තල් ආශ්‍රිත නිපැයුම් ප්‍රවර්ධනය කිරීමත්, තල් කර්මාන්තයේ වර්ධනය සිදුකිරීමත් අරමුණු කර ගනිමින් තල් අරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ස්වයං රැකියා උත්පාදනය, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම මෙමගින් සිදු කෙරේ.  අදාල ව්‍යාපෘතිය මගින් තල් ගස් නැගීම පහසු කරවන ස්වයං මෙවලම් ලබාදීම, පුහුණුව ලබා දීම, නිෂ්පාදන සැකසුම් පිළිබද පුහුණුව, අලෙවි අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම අවශ්‍යතාව අනුව ණය පහසුකම් ලබාදීමට ද නියමිතය.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කඩිනම් කරන ලෙසත්, ව්‍යාපෘතිය පිලිබද ව්‍යවසායකයින් දැනුවත් කිරිමට වැඩපිලිවෙලක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. නිසි ප්‍රවර්ධන වැඩපිලිවෙලක් මගින් තල් ආශ්‍රිත ව්‍යවසායකයින් දිරි ගැන්වීමටත්, වෙළදපොල අවස්ථා නිර්මාණය කිරීම පිලිබදව සොයා බලන ලෙසත් රාජ්‍ය අමාත්‍යතුමා අදාල නිලධාරීන්ට පැවසීය.

    මෙම ව්‍යාපෘතිය මගින් නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීමට කටයුතු කල යුතු බවත්, අඛණ්ඩ පුහුණුව ලබා දීමට අවශ්‍ය බවද  මේ සමග කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීම පිලිබදව ද අවධානය යොමුකල යුතු බව අමාත්‍යතුමන් මෙහිදී  සදහන්  කළේය.

    දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමටත්, සංචාරක ආකර්ශනය වර්ධනය කිරීමට මෙන්ම ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමටද මෙමගින් හැකිවනු ඇති බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා  සදහන් කළේය.

    මෙම අවස්ථාවට ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.ඒ.එන්.ඩි. අබේරත්න, අතිරේක ලේකම් අසංග දයාරත්න, ව්‍යාපෘති වැඩසටහන් අධ්‍යක්ෂ රංජිත් සදනායක, ජාතික වෙළද හා ව්‍යවසායකත්ව සම්මේලනයේ සභාපති නන්දන ඇඹුල්දෙනිය, තල් අරණ ව්‍යාපෘතියේ උපදේශක එම්. කේ. බී. දිසානායක සහ නව නිපැයුම් සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති නන්දදාස පී නාරායන  යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.