හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට වූ අගතිය සම්බන්ධයෙන් Turkish Airlines වෙතින් කරුණු විමසයි

    September, 16, 2026

    World Athletics Ultimate Championship ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලෝක ශූර රුමේෂ් තරංග මහතා මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කෙරිණි.

    ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන්, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සහ  සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා, Turkish Airlines ආයතනයේ නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක් ඊයේ (15)වන දින සිවිල් ගුවන්සේවා අධිකාරී පරීශ්‍රයේදී පැවැත්වුණි.

    මෙහිදී, රුමේෂ් තරංග මහතාගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් සිය කනගාටුව පළ කළ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදු කිරීමට ද, එම හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදු කරන ලෙසත්, අදාළ හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙහිදී තීරණය විය.