හේමාස් අවුට්රීච් පදනම ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

    March, 23, 2022

    හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය (AYATI National Centre for Children with Disabilities) එක් වී, 2022 මාර්තු 16 වන දින, රාගම පිහිටි ආයති මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන ලදි. ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුළදී ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ට හඬක් දීම ඉලක්ක කරගත් නව ගීතයක් දොරට වැඩීමද සිදුකෙරිණි. ‘එක සේ සලකමු’ වැඩසටහනේ ඉලක්කය වන්නේ, ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින්, පුරවැසියන් ලෙස සමාජය තුළ ඔවුන්ට හිමිවිය යුතු නිසි පිළිගැනීම ලබාදීම ය.

    “එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන ආරම්භ කරන ලද්දේ, නිතර නොසලකා හැරීමට ලක්වන, ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමටයි. කිසිදු දරුවෙකු එලෙස නොසලකා හැරීමකට ලක් නොවන සමාජයක් නිර්මාණය කළ යුතු බව හේමාස් සමූහය විශ්වාස කරනවා. හේමාස් අවුට්රීච් පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වල මූලික අරමුණ වන්නේ මෙයයි. ශ්රී ලංකාවේ ළමුන්ගෙන් ආසන්න වශයෙන් 20%කට යම් ආකාරයක ආබාධිත තත්වයක් ඇති බවට ගණන් බලා තිබෙනවා.. ශ්‍රී ලංකා ආයති භාරය උත්සාහ කරන්නේ, මෙම දරුවන් අගතියට පත් නොවන, ඔවුන්ට අවශ්‍ය විශේෂ සේවාවන් නො-අඩුව හිමිවන සමාජයක් නිර්මාණය කිරීමටයි. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන මේ මොහොතේ, සමාජයේ පවතින දුර්මත දුරුකිරීම සඳහා එක්ව කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතුයි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කරන සමාගමක් වශයෙන්, පවුල් වලට තම ගැටලු විවෘතව ප්‍රකාශ කරමින්, සමාජය තුළින් තමන්ට අවශ්‍ය සහය ලබාගැනීමට හැකිවන පසුබිමක් නිර්මාණය කිරීමට අප උත්සාහ කරනවා. මේ දරුවන් තුළ ඇති විශේෂ කුසලතා වලට නිසි පිළිගැනීමක් හිමි විය යුතු අතර, ඔවුන්ගේ හැකියාවන් අගය කරමින්, ඔවුන්ට සමාන ලෙස සැලකීමට අප කටයුතු කළ යුතුයි.” ශ්‍රී ලංකා ආයති භාරයේ සහ හේමාස් අවුට්රීච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ. රවීන්ද්‍රන් මහතා සහභාගී වූ අතර, තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ. ඩවුන් සින්ඩ්‍රෝමය  පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් පිළියෙල කරන ලද අත්පත්‍රිකා තොගයක් මෙහිදී සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහතා වෙත භාරදෙන ලද අතර, එම පත්‍රිකා දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 වෙත ලබාදීමට නියමිත ය.

    “ආයති මධ්‍යස්ථානය, මා ලොව පුරා දුටු එවැනි මධ්‍යස්ථාන අතරින් විශිෂ්ටතම මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ව්‍යාපාරකරණය යනු හුදෙක් ලාභ ලැබීමෙන් ඔබ්බට විහිදෙන දෙයක් බව හේමාස් සමූහ ව්‍යාපාරය ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටිනවා. මෙහිදී අප ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන් රැකබලා ගන්නන්  ඉටුකරන මෙහෙවරද අගය කළ යුතුයි. එවැනි සෑම පුද්ගලයෙකු පසුපසම ඇගයීමට ලක්විය යුතු වීරයන් පිරිසක් සිටිනවා. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ට සමාජය තුළ නිසි තැන ලබාදීම අතිශයින් වැදගත්. ඔවුන් පවතින ධාරාවට ඇතුළත් කරගැනීම මගින් සියල්ලන්ගේම දැනුම හා අවබෝධය වැඩිදියුණු වෙනවා. එය දයාන්විත ලෝකයක් නිර්මාණය කිරීමට මහෝපකාරී වේවි. එමගින් දෙපාර්ශ්වයේම අපේක්ෂාවන් ඉහළ නැංවෙන අතර, ඔවුන් අභියෝග වලට මුහුණ දීමට පුරුදු වෙනවා. මේ ඔස්සේ වඩාත් දයාන්විත දරු පරපුරක් නිර්මාණය කිරීමට අපට පුළුවන්.” උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ, රොටරි සමාජයේ හිටපු සභාපති කේ. රවීන්ද්‍රන් මහතා පැවසී ය.

    සෑම පවුලකටම වඩාත් යහපත් හෙට දිනයක් උරුම විය යුතු බව හේමාස් හෝල්ඩින්ස් සමාගම විශ්වාස කරයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම අවධාරණය කරමින්, කිසිදු දරුවෙකුව අත් නොහරින  ලෝකයක් නිර්මාණය කිරීම එම සමාගමේ අරමුණ වී තිබේ. මෙම අරමුණ, දරුවන් එදිනෙදා පීඩාවට පත්කරන දුර්මත සමාජයෙන් තුරන් කිරීම සඳහා කැපවීමට සමාගම යොමු කරවන මූලිකම සාධකය බවට පත්වී ඇත.  ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය වෙනුවෙන් හඳුන්වා දුන් ගීතයද මෙම උත්සාහයේම ඉදිරි පියවරකි. අමිල ජයස්වර්ණ ගායනා කරන මෙම ගීතය, ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ට ආදරය සහ ගෞරවය ලබාදීමේ වැදගත්කම පෙන්වා දෙයි.

    “සමාජයක් ලෙස අප සැම දෙනාටම සමානව සැලකිය යුතුයි. සියලුම ක්‍රියාකාරකම් වල නිරත වීමට දරුවන් යොමුකරවීම දෙමාපියන්ගේ වගකීමක්. වෙනස්කොට සැලකීම් වලින් තොරව සියලුම දෙනාට විවෘත වූ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මීට වඩා කාර්යභාරයක් ඉටු කළ යුතු යයි කියා මා සිතනවා. අප මේ දරුවන්ට වැඩි වැඩියෙන් ආදරය හා දයාව පිරිනැමිය යුතුයි. ඔවුන් තුළ ඇති සුවිශේෂී හැකියාවන් හඳුනා ගැනීමට සමාජයට අත්වැලක් විය යුතුයි.” හේමාස් අවුට්රීච් පදනමේ සන්නාම තානාපති සහ ශ්‍රී ලංකා ආයති භාරකාර මණ්ඩලයේ සාමාජික රොෂාන් මහානාම මහතා පැවසී ය.

    http://web.facebook.com/ekasesalakamu ඔස්සේ, ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන් සම්බන්ධ දුර්මත දුරුකිරීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙනයන වැඩසටහන සමග සම්බන්ධ විය හැක.

    ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී, මාස් හෝල්ඩින්ස්, රොෂාන් විජේරාම පදනම, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ රොටරි සමාජයේ දිස්ත්‍රික් අංක 3220 අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වේ.

    හේමාස් හෝල්ඩින්ස් යටතේ පිහිටුවා ඇති හේමාස් අවුට්රීච් පදනම, හේමාස් සමූහයේ ආයතනික සමාජ සත්කාර කටයුතු වලදී පෙරමුණ ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම ප්‍රචලිත කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හේමාස් අවුට්රීච් පදනමේ මෙහෙවර වන්නේ, කිසිදු දරුවෙකුට රැකවරණය අහිමි නොවන පසුබිමක් නිර්මාණය කරමින්, ශ්‍රී ලාංකික පවුල් වලට සෞඛ්‍ය සම්පන්න ජීවිත ගතකිරීමට අත්වැලක් වීම සඳහා පුළුල් මට්ටමේ මැදිහත්වීම් සිදුකිරීම ය. භාරකාර පදනමක් ලෙස ක්‍රියාත්මක වන හේමාස් අවුට්රීච් පදනම, සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත පිරිසකගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.