හේමාස් ෆාමසූටිකල්ස් සමඟින් ඉදිරියටම යන විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ඔපෝ

    March, 23, 2022

    දශක හතකට අධික කාලයක් තිස්සේ මෙරට ඖෂධ ආනයන හා බෙදාහැරීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින හේමාස් ෆාමසූටිකල්ස්  (Hemas Pharmaceuticals) සමාගම, ශ්‍රී ලංකාව තුළ ඔපෝ විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන (OPPO Orthopedic rehabilitation products) බෙදාහැරීම සම්බන්ධ නිල බෙදාහැරීම් නියෝජිත සමාගම ලෙස පත්කර තිබේ.

    ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඔපෝ 2007 වසරේදී තම නිෂ්පාදන මෙරටට හඳුන්වා දුන් අතර, එතැන් පටන් මෙරට විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් වී සිටී. මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඔපෝ  හි නිල නියෝජිතයා ලෙස කටයුතු කරමින්, එම නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමට හේමාස් ෆාමසූටිකල්ස් සමාගම කටයුතු කරනු ඇත.

    “ඔපෝ සමාගම විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස සැලකෙනවා. රටේ විශ්වාසනීයම ඖෂධ බෙදාහැරීම් සමාගමක් වන හේමාස්, ඔපෝ නිෂ්පාදන මෙරට වැඩි පිරිසක් වෙත සමීප කරවීමට සූදානම්. මෙම හවුල්කාරීත්වය සමාගම් දෙකට මෙන්ම, මෙරට විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන අවශ්‍ය වන රෝගීන් විශාල පිරිසකට ප්‍රතිලාභ සලසනු ඇති බවට සැකයක් නැහැ.” හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් යන සමාගම් වල කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසී ය.

    විකලාංග හා පුනරුත්ථාපන (Orthopedics and Rehabilitation), ක්‍රීඩා ප්‍රතිකාර (Sports Medicine), ශාරීරික හානි වැළැක්වීම (Prevention of injuries) සහ ශල්‍ය නිෂ්පාදන (Surgical) යනාදී කාණ්ඩ 81 කට අයත් නිෂ්පාදන 473 ක් ඔපෝ නිෂ්පාදන එකතුවට ඇතුළත් වී තිබේ. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව ක්‍රියාශීලී ජීවන රටාවන් සහිත බොහෝ දෙනෙකුටද මෙම හවුල්කාරීත්වය තුලින් ආබාධ වළක්වා ගැනීමට සහ පුනරුත්ථාපනය සඳහා වඩාත් පහසුවෙන් ඔපෝ නිෂ්පාදන භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

    “රෝගීන්ට ඇතිවන පීඩාවන් අවම කරන ආකාරයේ නවතම විකලාංග හා පුනරුත්ථාපන නිෂ්පාදන හඳුන්වා දීමට ඔපෝ සෑම විටම ප්‍රමුඛත්වය ලබාදෙනවා. එම නිෂ්පාදන තවදුරටත් ජනතාවට සමීප කරවීම සඳහා මේ ආකාරයට, ඖෂධ ක්ෂේත්‍රයේ දශක ගණනාවක පළපුරුද්දක් සහිත හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් කණ්ඩායමේ දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ට සේවාව ඔස්සේ වැඩි පිරිසක් වෙත ඔපෝ නිෂ්පාදන සමීප කරවමින්, අප සතු වෙළඳපොළ ප්‍රමුඛත්වය දිගින් දිගටම රඳවා ගැනීමට අපට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” ඔපෝ උප සභාපති, සන්නාම සංවර්ධන - ආසියා පැසිෆික් කලාපය, සෑම් චියෑන්ග් මහතා පැවසී ය.

    හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් හේමාස් ෆාමසූටිකල්ස් සමාගම මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකේ. සිය විශිෂ්ට විකුණුම් හා බෙදාහැරීම් ක්‍රියාවලිය නිසා මේ වනවිට වෙළඳපොළෙන් 30% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගැනීමට එම සමාගම සමත් වී ඇත. තමන් සමග ගනුදෙනු කරන ඕනෑම පාර්ශ්වයකට ගැළපෙන විසඳුම් පිරිනැමීමේ හැකියාව හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සතු ය.