හේලීස් ණයකරවලට මුල් දිනයේදීම අධි ඉල්ලුමක්

    August, 20, 2019

    රුපියල් බිලියන 2ක අරමුදලක් සම්පාදනය කර ගැනීම උදෙසා අද (20) දින විවෘත කරන ලද හේලීස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි දායකත්වයක් ලැබී ඇති බව හේලීස් පීඑල්සී වෙනුවෙන්  නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන පී.ඩබ්. කෝපරේට් සෙක්‍රටේරියල් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මෙහිදී ඔවුන් පවසන්නේ රුපියල් බිලියන 3ක් ඉක්මවූ අයදුම්පත් මෙම ණයකර නිකුතුව සඳහා ලැබී තිබුණු බැවින් අද සවස 4.30ට නිකුතුව වසා දැමීමට සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ලැබූ බවයි.

    මූලික වශයෙන් රු. 100 බැගින් වූ ලැයිස්තුගත, ශ්‍රේණිගත, නිදහස් කළ හැකි ණයකර මිලියන 20ක් මෙහිදී නිකුත් කෙරෙන අතර ඒ සඳහා අධිදායකත්වයක් පැවතියහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සමාගම විසින් සැලසුම් කර තිබිණි.

    මෙම ණයකර විභජනය කෙරෙන ආකාරය පසුව දැනුම් දීමට නියමිතය.