ෆැෂන් බග්, දිවයිනේ ප්‍රථම වරට ත්‍රී රෝද රථ රියදුරන් ඇගයීමේ වැඩසටහනක් බල ගන්වයි

    June, 24, 2019

    දිවයිනේ ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් වන ෆැෂන් බග් දිවයිනේ ප්‍රභල අවශ්‍යතාවයක් වන, සමාජයේ අවධානය යොමු විය යුතු  හා දැනුවත් විය යුතු  එහෙත්, නොයෙක් හේතු කාරණා නිසා නොසැලකීමට ලක්වූ නොයෙකුත් අංශ දියුණු කිරීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර ඇත. මෙහි එක් අදියරක් ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආකල්ප වැඩි දියුණු කිරීමේ  හා පෞරුෂ සංවර්ධන වැඩසටහනක් “ෆැෂන් බග් ත්‍රී වීල් අභිෂේකය” නමින් පසු ගිය දිනක ආරම්භ විය.

    මහනුවර පැවති මෙම අවස්ථාවට  ත්‍රී රෝද රථ රියදුරන් 3000ක් පමණ ලියාපදිංචි වූ අතර මේ අතරින් අවසන් අදියර සඳහා ත්‍රී රෝද රථ රියදුරන් 500ක් තෝරා ගෙන තිබිණ. මෙහි අවසන් වටයේදී  ජයග්‍රාකයින් තිදෙනා හට රුපියල් 100000 , 75000 සහ 50000 වශයෙන් මුදල් ත්‍යාග ලබා දුනි.

    මෙම වසරේ පැවැත්වෙන වැඩසටහන, මාර්තු 17 වන දින පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දක්වා, නො 619, පේරාදෙණිය පාර, නුවර “හින්දු සංස්කෘතික මධ්‍යස්තානයේ” පැවත්විණි. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්  ප්‍රවාහන හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා , මහනුවර නියොජ්‍ය පොලිස්පති ඪී ආර් එල් රණවීර මහතා , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සඳරාජ මහතා, සමස්ථ ලංකා ත්‍රී රෝද රියදුරන්ගේ සංගමයේ සභාපති සුදීල් ජයරුක් මහතා හා මහනුවර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔවිඳසිරි මහත සහභාගි වූහ.

    මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ෆැෂන් බග් හි ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබීයන් මහතා මෙසේ පැවසීය “ ෆැෂන් බග් ත්‍රී වීල් අභිෂේකය යනු නුවර අවට ත්‍රී රෝද රථ රියදුරන් වෙනුවෙන් අවධානය යොමුකරන ප්‍රථම වැඩසටහනයි. මෙම රියදුරන් අංශ ගණනාවක් ඔස්සේ අධීක්ෂණයට ලක්කොට ඔවුන්ගේ කුසලතා හා පෞරුෂ වර්ධනයට උපකාරි වීමට මේ හරහා බලාපොරොත්තු වේ.

    ත්‍රී රෝද රථ, පොදු ජනතාවගේ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යයක් වුවද, එම රියදුරන් හට නිසි පුහුණුවක් නොමැතිකමින් පාරිභෝගික සේවා පිළිබඳ එතරම් අවබෝධයක් නැත. ෆැෂන් බග් ත්‍රී වීල් අභිෂේකය හරහා එම රියදුරන් හට ඉගෙනුමට යෝග්‍ය පරිසරයක් ඇති කොට, කුසලතා හා ආකල්ප වර්ධනය කර ගැනීමෙන් වඩාත් යහපත් පාරිභෝගික සේවාවක් ලබා දීමට කිරීමට අදහස් කරයි.

    ෆැෂන් බග් පුද්ගලික සමාගම 1994 දී ස්ථාපනය කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් පුරා වෙනස් වෙමින්  දිවයිනේ ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් බවට මේ වන විට පත්ව ඇත. තරුණ, නව්‍යකරණයට විවෘත නායකත්වයක් යටතේ  ශීඝ්‍ර වර්ධනයක් ලබා ගනිමින් සිටින මෙම ආයතනය මේ වන විට සේවකයින් 1,250 කට අධික සේවක පිරිසක්  හා දිවයින පුරා ව්‍යාප්ත සාප්පු සංකීර්ණ 16 කට අධික සංඛ්‍යාවක් යටතේ සුළු හා මධ්‍යම පරිමාණයේ දේශීය ව්‍යවසායකයන්හට 2000 කට අධික පිරිසකට අත්වැලක් වෙමින් දිවයිනේ විලාසිතා අවශ්‍යතාවයන්ට ගැළපෙන දෙස් විදෙස් විලාසිතා ප්‍රවණතාවයන්ට මං පෙත් විවර කර දෙයි.