ෆිච් ජෝන් කීල්ස් ණය ශ්‍රේණිය පහළ දමයි. මෙන්න! ජෝන් කීල්ස් වෙතින් උත්තර

    September, 3, 2014

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ (JKH) ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිය AAA(lka) සිට AA+(lka) දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.

    මෙම සමාගම ප්‍රවාහන, සංචාරක, දේපොළ, පාරිභෝගික භාණ්ඩ, සිල්ලර සහ මූල්‍ය සේවා සම්බන්ධ ව්‍යාපාරික කටයුතු සිදුකරන හොඳින් විවිධාංගීකරණය වූ සමූහයකි.

    ෆිච් පවසා තිබෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට සියයට 42 ක කොටස් අයත් කොළඹ වරායේ SAGT පර්යන්තයේ ව්‍යාපාරික තරගකාරීත්වය පහළ යාම, ඩොලර් මිලියන 650 ක් පමණ ආයෝජනය කර කොළඹ ඉදිකිරීමට යන මිශ්‍ර හෝටල් ව්‍යාපෘතියෙන් 2019 මුදල් වසර වනතෙක් ආදායම් නොලැබීම යන හේතු මෙම පහළ දැමීමට බලපා තිබෙන බවයි.

    මෙම හෝටල් ව්‍යාපෘතියට අදාළ වන අවධානම් කිහිපයක්ම තිබෙන බවත් ආයෝජන ඇස්තමේන්තු ඉහළ යාම හා ව්‍යාපෘතිය අවසන් කිරීමේ කාල සීමාව දැනට අපේක්ෂිත ඉලක්ක වලට වඩා ඉදිරියට යාම ඒවා අතර ඉදිරියෙන්ම තිබෙන බව ෆිච් පවසා ඇත. මේ නිසා, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාගත් ණය මුදල් ගෙවීම පමාවීමට එය හේතුවිය හැකියැයි සඳහන්ය.

    මෙන්න! ජෝන් කීල්ස් වෙතින් උත්තර

    සමාගමේ ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිය ෆිච් රේටින්ග්ස් විසින් පහළ දැමීමට අදාළව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම (JKH) අදහස් දක්වා තිබේ. ජෝන් කීල්ස් යනු මෙරට දැවැන්තම ආයෝජකයෙකු බවත් සමාගම විසින් කර්මාන්තවල සිදුකරන වර්තමාන ආයෝජනයන් යුද්ධයෙන් පසු නැගී එන මෙරට ආර්ථික වර්ධනය හමුවේ ඉහළ වර්ධනයක් අපේක්ෂිත ඒවා බව සඳහන්ය. මේවා සම්බන්ධ අවධානම් හා ප්‍රතිලාභ පිළිබඳව සමාගම හොඳින් අධ්‍යනය කර ඇතැයි ජෝන් කීල්ස් මෙහිදී පවසා තිබේ.

    විශේෂයෙන්ම සංචාරක, පාරිභෝගික භාණ්ඩ සහ සිල්ලර, දේපොළ සහ මූල්‍ය සේවා යන අංශයන්හි ප්‍රතිලාභ ඉහළ ආයෝජනයන් කිරීමට සමාගම පසුගිය අවුරුදු 10 ක කාලය තුළදී කටයුතු කර තිබෙන බව සඳහන්ය.

    ප්‍රවාහන ව්‍යාපාරික කටයුතුවල කාර්ය සාධනය බලාපොරොත්තු වූ පරිදිම මධ්‍යස්ථභාවයට පැමිණ තිබුණත් SAGT පර්යන්තයේ වත්මන් කාර්ය සාධනය සමූහයේ බාධා අනුපාතයන්ට (Hurdle Rates) වඩා අඛණ්ඩවම ඉහළින් තිබෙන බව සමාගම සඳහන් කර ඇත.

    2014 මාර්තු මාසයේදී ආරම්භකළ වෝටර් ෆ්‍රන්ට් හෝටල් ව්‍යාපෘතියේ නේවාසික ඒකක සහ වාණිජ ඉඩකඩ ඉදිකිරීමට පෙර අලෙවි කිරීම, බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකවී අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් තිබෙන බව සමාගම පවසා තිබේ. මෙහිදී, ජෝන් කීල්ස් අවධාරණය කර තිබෙන්නේ සමූහයේ වත්මන් හා අපේක්ෂිත මූල්‍ය ශක්තිය ඕනෑම අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට ඇති තරම් ප්‍රමාණවත් බවයි.