ෆෝර්ඩ් හා වර්ල්ඩ්විෂන් ලංකා එක්ව පොලොන්නරුවේ වැසි ජල අස්වනු ව්‍යාපෘතියක් දියත් කරයි

    January, 19, 2018

    ලෝ සුපතල රථවාහන සන්නාමයක් වන ෆෝර්ඩ් හා එහි දේශීය බෙදාහැරීම් සහකරු වන ෆියුචර් ඔටෝමොබයිල්ස්  පුද්ගලික සමාගම  හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි ජලයෙන්  ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන වැඩසටහනක් දියත් කරයි.

    පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශය මුල්කරගනිමින්  ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් මූලික වශයෙන්  ප්‍රතිලාභීන් 100 දෙනෙක් වෙත සේවා සැලසීමට නියමිතව තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිකරුනේ අපතේ යන වැසි ජලය රැස්කර තබාගනිමින් වර්ෂාව අඩු කාලවලදී  ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙයි.

    මෙම ව්‍යාපෘතිය අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කෙරන අතර එහි පළමු වැන්න පවුල් 5 - 6ත් අතර පවුල් සමූහයකට එක් වැසි ජල අස්වනු ව්‍යාපෘතිය බැගින් ඉදිකර ඒවායේ පාලනය එම පවුල් වලට භාරදීමයි. මෙහිදී  එම සෑම කණ්ඩායමකම එක් සාමාජිකයෙකු ප්‍රජා මූල සංවිධානයක සාමාජිකයෙකු වන අතර ඔහුට මෙම වැසි ජල අස්වනු ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදෙනු ලබයි.   මෙම වැසි ජල අස්වනු ව්‍යාපෘතිය සූර්ය බලය යොදාගනිමින් ක්‍රියාත්මක වන අතර එමඟින් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සම්බන්ධයෙන් ග්‍රාමීය ජනයා දැනුවත් කිරීම සහ ඊට පුහුණු කිරීම සිදුවෙයි. මෙහි දෙවන අරමුණ වන්නේ වියළි කාල සීමාවලදී  අවම  වන භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වාගැනීම සඳහා ක්‍රියාකිරීමයි. මෙම වැසි ජල අස්වනු ව්‍යාපෘතිය මඟින් වර්ෂාව මඟින් ලැබෙන ජලය වියළි කාලසීමාවලදී පොළවට යොමු කෙරෙන නිසා භූගත ජල මට්ටම අඩුවීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙයි. තුන්වන අරමුණ වන්නේ පුනර්ජනනීය ජල පාරිභෝජන සමාජ සහ පවුල් කණ්ඩායම් වෙත   සූර්ය බලයෙන් ක්‍රියාකරන අස්වනු ව්‍යාපෘති පිළිබඳව පුහුණුවක් ලබාදීමයි.

    මෙම ව්‍යාපෘති පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සමඟ වසර ගණනාවක සිට පැවති සබඳතාව මෙම ව්‍යාපෘතිය සමඟ නව මානයකට යොමු වන බවයි. වැලිකන්ද වැනි ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස නියගයෙන් පීඩා විඳින ප්‍රජාවක් බවත් ඔවුන්ගේ ජීවන පැවැත්ම නියගය නිසා අඩාල වන බවත් පෙන්වා දුන්නේය. වැසි ජලය යොදාගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් ඔවුන්ට ඉමහත් සේවාවක් සිදුවන බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළේය. එමෙන්ම රැස්කරගන්නා වැසි ජලය සූර්ය බලය යොදාගනිමින් පොම්ප කිරීම සිදුකෙරෙන නිසා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම පිළිබඳව ග්‍රාමීය ජනයාට මනා අවබෝධයක් ලබාගැනීමට ද  මෙහිදී අවස්ථාව හිමිවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ වර්ල්ඩ් විෂන් ලංකා හි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා මහතා සඳහන් කළේ වර්ල්ඩ් විෂන් ලංකා  විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපෘති රැසක් දියත් කරන බවයි. ඒ සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව ෆෝර්ඩ් සමාගම වෙත ස්තූතිය පිරිනමන බව ද හෙතෙම සඳහන් කළේය. පසුගිය වසරේ ෆෝර්ඩ් සමාගමේ සහයෝගය ඇතිව පවුල් 200 කට පිරිසිදු ජල පහසුකම් සැපයීමට හැකියාව ලැබුණු බව හෙතෙම මෙහිදී සිහිපත් කළේය. ඒ හා සමාන ව්‍යාපෘතියක් වන වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට වැසි ජල ව්‍යාපෘතියක් සදහා අනුග්‍රහය දැක්වීමට ෆෝර්ඩ් ඉදිරිපත්වීම පිළිබඳව සතුට පළ කරන  බව  සේනාධිරාජා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසුගිය වසර කිහිපය තුළදී ෆෝර්ඩ් හි පරිසර ආරක්ෂණ අරමුදල යටතේ  විවිධ ව්‍යාපෘති රැසක් සඳහා දායකත්වය ලබා දී තිබේ. එහිදී තිරසර සංවර්ධනයකට ප්‍රජාව යොමුකරවීම සඳහා පර්යේෂණ සිදුකරන, මැදිහත් වී කටයුතු කරන  විවිධ පුද්ගලයින්, කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන වෙත පර්යේෂණ  පහසුකම් සලසා තිබේ. 2015 දී  වර්ල්ඩ්විෂන් ලංකා හා එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ වාහරෙයි හි ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ෆෝර්ඩ් විසින් දියත් කළේය. වසර 2014 දී Field Ornithology Group of Sri Lanka (FOGSL) වෙත ෆෝර්ඩ් විසින් ඇමරිකානු ඩොලර් 20000ක මුදලක් ලබාදුන් අතර 2013 දී The Tree Society of Sri Lanka සහ වනසරණ තුරුලතා ස්වේච්ඡා සමාජය  යන ආයතන සඳහා ඇමරිකානු ඩොලර් 15000 ක මුදලක් ෆෝර්ඩ් විසින්  ලබාදී තිබේ. ඒ හා සමානවම වසර 2012 දී නකල්ස් වනාන්තර පද්ධතිය ගින්නෙන් ආරක්ෂා කිරීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් 10000ක මුදලක් ෆෝර්ඩ් විසින් ලබාදී තිබේ. මීට අමතරව මෑතකදී ෆෝර්ඩ් හා  Japan Emergency NGO (JEN)  එක්ව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල  පවුල් 50කට  ප්‍රතිලාභ හිමිවන කෘෂි ව්‍යාපෘති තුනක්   දියත්  කළේය.

     

    ඡායාරූප - ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් (වමේ)  මහතා විසින් වර්ල්ඩ් විෂන් ලංකා හි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා (දකුණේ) වෙත අනුග්‍රාහකත්වය  පිරිනැමීම