2016 පළමු සතියේ දී 2.44% කින් කොළඹ කොටස් බසී

    January, 10, 2016

    ගෝලීය වශයෙන් මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයේ තවත් ගොදුරක් බවට ශ්‍රී ලංකා ආර්ථිකය ද පත්වෙමින් පවතින බව පසුගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විමිසිලිමත් වීමේ දී අංශ කිහිපයක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකිවිය. මේ වන විට චීන ආර්ථිකය පවතින්නේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් පවතින අවධියකය. ලොව දෙවැනියට විශාලතම ආර්ථිකයේ සිදුවන මෙම අහිතරක ක්‍රියාකාරීත්වය තුළින් ශ්‍රී ලංකාව වැනි කලාපයේ කුඩා ආර්ථිකයකට වෙන්ව විසීමට ඇත්තේ ඉතා අල්ප අවකාශයකි.

    පසුගිය 2016 ජනවාරි 04 වැනි දින නව වසරේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ විය. එදින ආරම්භයේ දී ඒකක 6894.50 ක්ව සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය සිකුරාදා එනම් ජනවාරි 08 වන දින වන විට දැක්වුණේ ඒකක 6,726.28 ක් ලෙසිනි. මෙය දින 5 ක් තුළ ඒකක 168.22 ක පහළ යාමකි. නැතහොත් 2.44% ක කඩාවැටීමකි. මෙහි ඇති සුවිශේෂී කාරණය නම් පසුගිය 2015 වර්ෂය පුරාවටම කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම 5.54% ක් පමණක් වීමයි. මේ අතර පසුගිය සතිය අවසානයේ දී වර්ෂ ආරම්භයේ දී ඒකක 3,625.69 ක්ව පැවති S&P SL20 දර්ශකය ද ඒකක 3,514.41 දක්වා ඒකක 111.28 කින් හෙවත් 3.07% කින් පහළ ගොස් තිබේ.

    පසුගිය වසර 1 ½ ක කාලපරිච්ඡේදය තුළ දක්නට ලැබුණු අවම මට්ටමට සියලු කොටස් මිල දර්ශක අගය මේ වන විට පැමිණ ඇත. කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ උනන්දුව තිබෙන්නේ මේ වන විට හීනවෙමින් පවතින අවධියක බව මේ අනුව පැහැදිලි වේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතා කියා සිටියේ, විශේෂයෙන්ම විදෙස් ආයෝජකයින් මේ වන විට සිය ආයෝජන, චීනය ඇතුළු කලාපයේ අනෙකුත් වෙළෙඳපොළවලින් ඉවත් කරගැනීමට කටයුතු යෙදීම මීට ප්‍රධානතම හේතුව බවයි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද දැඩිව බලපා තිබෙන බව ඔහුගේ අදහස විය. එසේම මෙරට රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී අදහස් දැක්වීය.

    “ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමත් මෙම තත්ත්වයට බලපා තිබෙනවා. පසුගිය වසර තුළ දී 8.8% කින් රුපියල බාල්දුවෙලා. එනම් යම් ආයෝජකයෙකු 2015 වසර තුළ දී ආයෝජනයෙන් 10% ක ප්‍රතිලාභයක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ, වසර තුළ දී 8.8% ක විනිමය අලාභයක් ඔහුට භුක්ති විඳින්න සිදුවෙනවා නම්. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් වහාම සෘජු විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගත යුතුයි. එසේම ආර්ථිකය පිළිබඳ නිවැරදි ස්ථාවර දැක්මක් ද රජයට තිබිය යුතුයි“, යනුවෙන් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභපති, කැන්ඩර් සමූහයේ අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධන විධායක නිලධාරී රවී අබේසූරිය මහතා වැඩිදුරටත් අද දෙරණ Biz වෙත කියා සිටියේය.

    මේ අතර පසුගිය ජනවාරි 07 වන දින මෙරට දී ආරම්භ වුණු ‘ශ්‍රී ලංකා ආර්ථිකය 2016‘ සමුළුවට සහභාගී වූ ලොව ප්‍රමුඛ පෙළේ ධන කුවේරයකු වන ජෝර්ජ් සොරෝස් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇති බවයි. කෙසේ වෙතත් 2008 වසරේ දී මෙන් ලෝක ආර්ථික අවපාතයක් පිළිබඳ ඉඟි පළ කිරීමට ඔහු මෙහිදී අමතක නොකළේය. එය මෙරට ආර්ථිකයට පමණක් නොව සමස්ත ගෝලීය ආර්ථිකයටම එතරම් සුභවාදී තත්ත්වයක් නොවනු ඇත.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2016 ජනවාරි 04 වන දින සිට ජනවාරි 08 දින දක්වා සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් මනිණු ලබන ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය හැසිරුණු ආකාරයයි.