2017 දී සියයට 4.5–5 අතර ආර්ථික වර්ධනයක් – මහ බැංකු අධිපති

    June, 23, 2017

    2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ත් සියයට 5 ත් අතර අගයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (23) දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,

     

    “වසරේ පළමු කාර්තුවල ඇති වූ නියං කාලගුණික තත්ත්වයත්, මේ වන විට ගංවතුරෙන් ඇති වූ ආපදා තත්ත්වයත් නිසා ආර්ථික වර්ධන වේගයේ මන්දගාමීවීමක් දකින්න පුළුවන්. ගංවතුර ආපදා තත්ත්වයෙන් පසු යළි යථා තත්ත්වයට පත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා.“

     

    “වසරේ පළමු භාගයේ දී ආර්ථික වර්ධන වේගය සියයට 3.8 ක් පමණ වෙනවා. එම නිසා වසර ආරම්භයේ දී ඇස්තමේන්තුගත අයුරින් සියයට 5 ක් වර්ධන වේගයක් පවත්වා ගැනීම තරමක් ඉහළ අගයයක්. මේ නිසා වසර තුළ සියයට 4.5 – 5 ත් අතර ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.“

     

    “ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු, ප්‍රථම වතාවට සියලූම ප්‍රධාන ආර්ථිකවල ප්‍රගතියක් අපිට දකින්න පුළුවන්. එක්සත් ජනපදය, යුරෝපය, ජපානය මෙන්ම ඉන්දියාව හා චීනය යන ආර්ථිකවල මේ තත්ත්වය දකින්නට ලැබෙනවා. මෙම ආර්ථිකවල දියුණුවත් සමගම අපගේ අපනයන සඳහා යහපත් දායකත්වයක් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන්න පුළුවන්.“

     

    “කටාර් අර්බුදය ගැනත් මෙහිදී අවධානය යොමුකළ යුතුයි. අපේ විශාල සංඛ්‍යාවක් කටාර්වල සේවය කරනවා. කොහොම වුණොත් විශාල සංචිත ප්‍රමාණයක් කටාරය සතුයි. මෙම අර්බුදය කොපමණ කාලයක් පවතීද යන්න මත එය තීරණය වෙනවා.“