2017 ලක්ෂ 25 ක සංචාරක ඉලක්කය සිහිනයක් ද?

    July, 10, 2017

    2017 වසරේ පළමු මාස 06 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව එම ගණන 1,010,444 ක් ලෙසින් සටහන් වේ. මෙය 2016 වසරේ පළමු මාස 06 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 964,267 හා සැසඳීමේ දී සියයට 4.8 ක වර්ධනයකි.

    මේ අතර 2017 මුළු වර්ෂය තුළ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයින්ගේ ප්‍රමාණය ලක්ෂ 25 ලෙස වසර ආරම්භයේ දීම ඉලක්කගත කෙරිණි. කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ මෙම ඉලක්කය සපුරා ගත් හැකිවේ දැයි යන්න ගැටළුකාරී වේ.

    මෙම ඉලක්කය කරා යාමට නම් ඉදිරි මාස 06 තුළ දී 1,489,556  ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණිය යුතු වේ. එහෙත් 2016 වසරේ අගභාගයේ දී පැමිණ තිබෙන සංචාරකයින් ගණන මුල්භාගයට වඩා 122,298 කි. මෙය ප්‍රතිශතාත්මකව සියයට 12 ක වැඩිවීමක් පමණි.

    2017 ලක්ෂ 25 ක සංචාරක ඉලක්කය සපුරා ගැනීමට නම් මුලභාගයේ පැමිණි සංචාරකයින් ගණන මෙන් තවත් 479,112 ක සංචරකයින් ප්‍රමාණයක් පැමිණිය යුතුවේ. මෙය මුල් භාගය වඩා සියයට 47 ක අතිරේක ප්‍රමාණයකි. එසේ නම් අවම වශයෙන් ඉදිරි මාස 06 තුළ, එක් මාසයක දී පැමිණිය යුතු සාමාන්‍ය සංචාරකයින් ගණන 248,259 කි.

    කෙසේ වෙතත් 2017 වසරේ ලක්ෂ දෙකක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ජනවාරි මාසයේ පමණි. එම ප්‍රමාණය 219,360 කි. එසේම 2016 වසරේ දීද ලක්ෂ 2 ඉක්ම වූ සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ ජූලි (209,351) හා දෙසැම්බර් (224,791) මාසවල පමණි.

    මේ අතර පසුගිය ගංවතුර හා නායයෑම් තත්ත්වයන් නිසා 2017 වසරේ ලක්ෂ 25 ක සංචාරක ඉලක්කයේ වෙනසක් සිදුනොවන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සංචාරක සංවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් මේ වන විට රට තුළ ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගත රෝග තත්ත්වය හමුවේ සංචාරක පැමිණීමෙහි පහළ යාමක් මෙම වකවානුව තුළ දී අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුතුවේ. එසේම පසුගිය දා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට සංචාරය කරන සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණි. ඒ ඇමරිකානු කාන්තාවන්ට තනිවම කොළඹ නගරයේ කුලී ත්‍රීරෝද රථවල නොයන ලෙසයි.

    මේ අතර මුල්මාස කිහිපය තුළ මෙරට ප්‍රධානතම ගුවන්තොට වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු හේතුවෙන් ගුවන්ගමන් සීමාකිරීමට සිදුවිය. ඒ හේතුවෙන් ද පැමිණි සංචාරකයින්ගේ පහළ යාමක් පෙබරවාරි, මාර්තු මාසවල දී වාර්තා වී තිබිණි.

    එබැවින් පැවති ස්වභාවික ආපදා තත්ත්වය, ඩෙංගු වසංගතය සහ අනෙකුත් ආනුශංගික කරුණු මෙරට සංචාරක ව්‍යාපාරයට ඇතිකරනුයේ සෘණාත්මක බලපෑමක් පමණි. ඒවා ලක්ෂ 25 ක සංචාරක ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග වේ.

     

    ඡායාරූපය - srilanka.travel වෙබ් අඩවියෙනි