2018 ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු අඩුවෙන හැටි

    December, 28, 2017

    සුරා බදු ආඥාපනත යටතේ සිදුකරනු ලබන වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරනු ලබන බව 2017 දෙසැම්බර් 11 දින අංක 2049/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කර සිටී.

    මෙම නව සංශෝධනයන්ට අනුව ස්කාගාර බලපත්‍ර, නිෂ්පාදකයින්ගේ තොග වෙළෙඳ අරක්කු/ බියර්/ විදේශීය මත්පැන් බෙදාහැරීමේ බලපත්‍ර, රා බෝතල්ගත කිරීමේ බලපත්‍ර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත‍්‍ර, මත්පැන් සදහා තොග හා සිල්ලර වෙළෙද බලපත‍්‍ර ගාස්තුවල වෙනස්වීමක් සිදු වූ නැත.

    මෙහිදී සංචාරක හෝටල් සදහා ලබා දෙන රට බීම බලපත‍්‍ර ගාස්තුවල කැපී පෙනෙන වෙනසක් සිදුව ඇත. ඒ අනුව සංචාරක මණ්ඩලය අනුමත කරනු ලැබූ සහ සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල් කාමර 5 හෝ ඊට වැඩි කාණ්ඩයේ හොටල් බලපත‍්‍ර ගාස්තු අඩුකර තිබේ.

    ඒ අනුව කාමර 200 ක් හෝ ඊට වැඩි හෝටල් සදහා ගාස්තුව රු. 1,000,000 සිට රු. 500,000 දක්වා, කාමර 20 සිට 199 දක්වා බලපත‍්‍ර ගාස්තුව රු. 500,000 සිට රු. 250,000 දක්වා සහ කාමර 20 ට අඩු හෝටල් සදහා වන රටබීම බලපත‍්‍ර ගාස්තුව රු. 250,000 සිට රු. 100,000 දක්වා අඩු කර ඇත.

    මීට අමතරව මත්පැන් විකුණන වේලාවන් දීර්ඝ කිරීම සදහා වූ අතිරේක බලපත‍්‍ර ගාස්තුව එක් සතියක් වෙනුවෙන් රුපියල් 75,000 සිට රු. 25,000 දක්වා පහත හෙළා තිබේ.

    මේ අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සදහා වන සමාජශාලා, ක්‍රීඩා සමාජ හා සාමාජිකයින් සඳහා පමණක් වන සමාජශාලා සදහා වූ බලපත‍්‍ර ගාස්තුව රු. 500,000 සිට රු. 250,000 දක්වා ද, තානායම් බලපත‍්‍රය රු. 300,000 සිට රු. 100,000 දක්වා සහ සිනමා සඳහා විනෝද පීඨිකා බලපත‍්‍ර ගාස්තුව රු. 300,000 සිට රු. 50,000 දක්වා ද අඩු කර තිබේ.

    මේ සම්බන්ධ සම්පූර්ණ ගැසට් නිවේදනය පහත දැක්වෙන අතර මෙම සංශෝධනයක් 2018 ජනවාරි 01 වැනි දින සිට කි‍්‍රයාත්මක වීමට නියමිතය.