2018 තුන්වන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

    January, 17, 2019

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්)

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක් ලෙස 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව වැඩිවී තිබෙන බවයි. මේ අනුව, 2018 ජූලි මාසයේදී මෙම අපේක්ෂාව කැපී පෙනෙන ලෙස වැඩිවූ අතර පසුව අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී ක්‍රම ක්‍රමයෙන් මෙම අපේක්ෂාව අඩුවිය. නමුත්, සමස්තයක් ලෙස ගත්විට මෙම අපේක්ෂාව 2018 තුන්වන කාර්තුව තුළදී 2018 දෙවන කාර්තුවට වඩා ඉහළ අගයක පැවතුණි.

    2018 ජුනි මාසයේ පැවති සියයට 2.5 ක් වන උද්ධමනය 2018 ජූලි මාසය වනවිට සියයට 3.4 ක් දක්වා ඉහළ ගිය නමුත් අගෝස්තු මාසයේදී නැවතත් සියයට 2.5 ක් දක්වා පහත වැටුණි. මෙහිදී, කැපී පෙනෙන්නේ සැප්තැම්බර් මාසය වනවිට උද්ධමනය සියයට 0.9 ක් දක්වා සුවිශාල ලෙස පහළ වැටීමයි. සැප්තැම්බර් මාසයේදී මේ ආකාරයෙන් උද්ධමනය පහළ යාම සඳහා ආහාර මිල ගණන්වල පහත වැටීම කැපී පෙනෙන දායකත්වයක් දක්වා තිබේ.

    අපනයන වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වර්ධනය වීම නිසා 2018 වසරේ මුල් මාස හත තුළදී වෙළඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් වුණි. සංචාරක කර්මාන්තය මගින් ලැබෙන ඉපයීම් ඉහළ ගියද රජයේ සුරැකුම්පත් වෙළඳ පොළින් විදේශ ආයෝජන පිටතට ගලායෑම හේතුවෙන් ගෙවුම් ශේෂය මත පීඩනයක් ඇති කළේය. මේ අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2018 සැප්තැම්බර් මාසය අවසන් වනවිට සියයට 9.7 කින් පමණ අවප්‍රමාණය විය.

    සමස්තයක් ලෙස ගත්විට 2018 සැප්තැම්බර් මාසය වනවිට මෙරට විදේශ අංශය පීඩනයට ලක්වී තිබුණි. වෙළඳ හිඟය පුළුල්වීම සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම සහ කෙටී කාලීන ආයෝජන ආපසු රැගෙන යාම් මෙම මාසයේදී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව හතරවන මාසයටත් සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඉහළ ගියද ආනයන වියදම එම වර්ධනයට වඩා වැඩි වේගයකින් වර්ධනය විය.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව සමස්තයක් ලෙස 2018 තුන්වන කාර්තුව තුළදී (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව ඉහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

     

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2018 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) තුළදී සමස්තයක් ලෙස 2018 දෙවන කාර්තුවට සාපේක්ෂව වැඩිවී තිබේ. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    මෙහිදී, පෙනී යන්නේ මෙම අපේක්ෂාව ජූලි මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් පසුව ක්‍රමයෙන් අඩුවී තිබෙන බවයි.

    දූෂණය අඩුවන බලාපොරොත්තු
    2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) තුළදී මෙම බලාපොරොත්තුව පහළ ගිය අතර යළිත් එය 2018 ජූලි මාසයේදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන ආකාරයත් පසුව එය ක්‍රමයෙන් පහළ ගිය ආකාරයත් පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. මෙහිදී, වැදගත් වන්නේ සමස්තයක් ලෙස තුන්වන කාර්තුව තුළදී දූෂණය අඩුවන බලාපොරොත්තුව ඉහළ ගොස් තිබීමයි.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.

     

    Friedrich Naumann Stiftung Fur Die Freiheit සමග සම්බන්ධ වෙමින් ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරයි