2018 දී වැඩිම සෘජු විදෙස් ආයෝජන චීනයෙන්

    May, 24, 2019

    පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට ගලා ආ සමස්ත සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,611 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

    මෙම සෘජු විදෙස් ආයෝජනවලින් 54%ක්, එනම් ඩොලර් මිලියන 872 ක ආයෝජන පැමිණ ඇත්තේ චීනයෙනි.

    මෙම ලැයිස්තුවෙහි දෙවන හා තෙවන ස්ථානවල ඉන්දියාව හා සිංගප්පූරුව සිටින අතර එම රටවලින් පිළිවෙලින් ඩොලර් මිලියන 177 ක් හා ඩොලර් මිලියන 138 ක් යනා දී වශයෙන් 2018 වසර තුළ දී සෘජු විදෙස් ආයෝජන මෙරටට ගලාවිත් තිබේ.

    මීට අමතරව ඩොලර් මිලියන 100ට වැඩි සෘජු විදෙස් ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණ ඇති එකම රට වන්නේ මුරුසියයි. එම අගය ඩොලර් මිලියන 109 කි.

    2017 වසරේ දී චීනයෙන් ශ්‍රී ලංකාවට ගලා ආ සෘජු විදෙස් ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 456 ක් වන අතර, එම අගය පෙර වසරට සාපේක්ෂව 2018 වසර තුළ දී 91% කින් ඉහළ ගොස් ඇත.