2018 දෙවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

    September, 21, 2018

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි)  

     

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

     

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක් ලෙස 2018 පළමු කාර්තුවට සාපේක්ෂව අඩුවී තිබෙන බවයි. 2017 දෙසැම්බර් මාසයේදී මෙම අපේක්ෂාව ඉහළ ගොස් තිබූ අතර එය 2018 පළමු කාර්තුවේදීත් අඩුවිය. 2018 අප්‍රේල් මාසයේදී මෙම අපේක්ෂාව තවදුරටත් අඩුවූ අතර පසුව මැයි මාසයේදී එය තරමක් ඉහළ ගිය නමුත් පසුව ජුනි මාසයේදී මෙම අපේක්ෂාව යළිත් අඩුවිය.

    2018 මාර්තු මාසයේදී පැවති සියයට 2.8 ක්වූ උද්ධමනය අප්‍රේල් මාසය වනවිට සියයට 1.6 ක් දක්වා අඩුවූ අතර නැවත එය මැයි මාසයේදී සියයට 2.1 ක් දක්වාත් ජුනි මාසයේදී සියයට 2.5 ක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය විය. 2018 අප්‍රේල් මාසය වනවිට මෙතෙක් වාර්තා වූ ඉහළම විදේශ සංචිත ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් වාර්තා වුවත් අප්‍රේල් දක්වා කාලයේදී රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.1 කින් අවප්‍රමාණය විය. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ඇමරිකානු ඩොලරය ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තවදුරටත් ශක්තිමත්වීම හමුවේ මැයි මාසයේ සහ ජුනි මාසයේදී තවදුරටත් අවප්‍රමාණය වූ බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2018 ජුනි මාසය වනවිට මෙරට විදේශ අංශයේ මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ බවයි. ඇමරිකානු ඩොලර් වලින් ගණනය කළවිට 2018 වසරේ අඩුම වෙළඳ හිඟය ජුනි මාසයේදී වාර්තා වී තිබේ. නමුත්, එම වෙළඳ හිඟය 2017 ජුනි මාසයට සාපේක්ෂව පුළුල් වී තිබේ. එසේම, 2017 ජුනි මාසයට සාපේක්ෂව 2018 ජුනි මාසයේදී ලැබූ ප්‍රේෂණ ආදායම් පහළ ගොස් තිබෙන නමුත් සංචාරක ඉපැයීම්වල ප්‍රගතියක් වාර්තා කිරීමට සමත්ව තිබීම කැපී පෙනේ.

    මීට අමතරව, මෙම කාල සීමාව තුළදී වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට සැපයූ ණය ප්‍රමාණය මන්දගාමී වී තිබෙන අතර මේ හේතුවෙන් මුදල් ප්‍රසාරණය අඩුවී තිබේ.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව සමස්තයක් ලෙස 2018 දෙවන කාර්තුව තුළදී (අප්‍රේල්, මැයි සහ ජුනි) 2018 පළමු කාර්තුවට සාපේක්ෂව පහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

     

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි) තුළදී සමස්තයක් ලෙස 2018 පළමු කාර්තුවට සාපේක්ෂව අඩුවී තිබේ.  (02 වන ප්‍රස්ථාරය බලන්න)

    මෙහිදී, පෙනී යන්නේ මෙම අපේක්ෂාව අප්‍රේල් මාසයෙන් පසුව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙන බවයි.

     

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස දූෂණය අඩුවන බලාපොරොත්තුව 2018 මුල් කාර්තුව තුළ වර්ධනය වී තිබුණි. නමුත්, 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) තුළදී මෙම බලාපොරොත්තුව යළිත් පහළ ගොස් තිබෙන ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

     

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.