2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

    June, 22, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය. 2018 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑමට, ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ නැංවීම ප්‍රධාන වශයෙන් හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2018 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.1 සිට 2018 මැයි මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට, ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම, විශේෂයෙන් ප්‍රවාහන (ඉන්ධන මිල ඉහළ දැමීම); නිවාස, ජලය, විදුලි, ගෑස් සහ වෙනත් ඉන්ධන (භූමිතෙල්, එල්.පී. ගෑස්); සහ සෞඛ්‍ය උපකාණ්ඩවලට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම, හේතුවෙන් ජා.පා.මි. දර්ශකය 2018 අප්‍රේල් මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.9 සිට 2018 මැයි මාසයේ දී දර්ශක අංක 124.3 දක්වා ඉහළ ගියේය. මේ අතර, සෘතුමය බලපෑම් හේතුවෙන් එළවළු, මාළු, ලොකු ළූණු, දෙහි සහ අර්තාපල් වැනි ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම් දක්නට ලැබිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 1.9 සිට 2018 මැයි මාසයේ දී සියයට 1.7 දක්වා පහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මුලික උද්ධමනය 2018 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 මැයි මාසයේ දී සියයට 3.1 දක්වා පහළ ගියේය.