2018 මුල් කාර්තුවේදී දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

    April, 23, 2018

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 මුල් කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු)  

     

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක් ලෙස 2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙන බවයි. 2017 දෙසැම්බර් මාසයේදී මෙම අපේක්ෂාව ඉහළ ගොස් තිබුණි. මේ අනුව, 2018 ජනවාරි මාසයේදී මෙම අපේක්ෂාව 2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව අඩුවූ අතර පෙබරවාරි මාසය වනවිට එය ජනවාරි මාසයට සාපේක්ෂව සුළු වැඩිවීමක් පෙන්නුම් කළේය. කෙසේවෙතත්, පසුව මාර්තු මාසයේදී නැවතත් මෙම අපේක්ෂාව පහළ ගොස් තිබේ.

    2018 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.4 ක්වූ අතර මෙම කාලයේදී ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පහළ ගොස් තිබේ. මේ අතර, පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 3.2 ක් දක්වා අඩුවී තිබෙන අතර එවිට මෙම අපේක්ෂාව සුළු වශයෙන් වර්ධනය වී ඇත.

    මෙම කාර්තුව තුළදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන අතර 2017 දෙසැම්බර් අවසන් වනවිට ඇමරිකානු ඩොලරයක් මිලදීගැනීම සඳහා රුපියල් 152.6 ක් පමණ වියදම් කළ යුතුවූ අතර එය 2018 ජනවාරි අවසන් වනවිට රුපියල් 153.7 ක් දක්වාත් පෙබරවාරි අවසන් වනවිට රුපියල් 154.8 ක් දක්වාත්, මාර්තු මාසය අවසන් වනවිට රුපියල්  155.9 ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.

    2018 ජනවාරි මාසයේදී මෙරට විදේශ අංශයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර සංචාරක ඉපැයීම් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. මීට අමතරව, විදේශීය ප්‍රේෂණ වලද ජනවාරි මාසයේදී වර්ධනයක් පෙන්වා තිබේ. එසේම, 2018 ජනවාරි මාසය අවසන් වනවිට මෙරට දළ නිළ විදේශ සංචිතය ආනයනික මාස 4.3 කට ප්‍රමාණවත් වූ අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක් විය.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව සමස්තයක් ලෙස 2018 පළමු කාර්තුව තුළදී (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු) 2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව පහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2018 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු) තුළදී සමස්තයක් ලෙස 2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබේ.  (02 වන ප්‍රස්ථාරය බලන්න)

    මෙහිදී, පෙනී යන්නේ මෙම අපේක්ෂාව ජනවාරි මාසයේදී පහළ ගොස් නැවතත් පෙබරවාරි මාසයේදී ඉහළ ගොස් යළිත් මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙන බවයි.

     

    දූෂණය අඩුවන බලාපොරොත්තු

     

    2018 මුල් කාර්තුව තුළ කැපී පෙනෙන කාරණය වන්නේ දූෂණය අඩුවන බලාපොරොත්තුව 2017 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස වර්ධනය වී තිබෙන බවයි.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.

     

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.