2019 තුන්වන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

    November, 11, 2019

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්)

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

     

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

     

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2019 ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, මාස තුන අයත්වන කාර්තුව තුළදී සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර මෙය වැදගත් වන්නේ පිට පිටම කාර්තු හතරකට පසුව මෙසේ ඉහළ ගොස් තිබීමයි.

     

    මෙම අපේක්ෂාව 2019 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන කාර්තුව තුළදීත්, අප්‍රේල්, මැයි, ජුනි කාර්තුව තුළදීත් පහළ ගිය අතර 2018 හතරවන කාර්තුව තුළදීත් පහළ ගියේය. මීටපෙර, 2018 තුන්වන කාර්තුව තුළත් ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පහළ ගොස් තිබුණි.

     

    2019 අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර නිසා මෙරට සංචාරක කර්මාන්තය දැවැන්ත ලෙස කඩා වැටුණු අතර එම කර්මාන්තයට සහාය දක්වන සේවාවන්ද දැඩි පසුබෑමකට ලක්විය. මෙම පසුබෑම ක්‍රම ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් කාර්තුව තුළදී රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව පිළිබඳ අපේක්ෂාව ඉහළ යෑමෙන් පිළිඹිබු කරන්නේ මෙම යථාතත්ත්වයට පත්වීමයි.

     

    පාස්කු ප්‍රහාරය නිසා අවලංගු වූ සංචාරක ගමන් ක්‍රමයෙන් සැප්තැම්බර් වනවිට වර්ධනය වෙමින් පවතින බව සංචාරක කර්මාන්තයේ සිටින පිරිස් සඳහන් කරයි.

     

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2019 තුන්වන කාර්තුව තුළදී (ජූලි, අගෝස්තු, සැප්තැම්බර්) ඉහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    මේ අතර, ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2019 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු, සැප්තැම්බර්) තුළදීත් ඉහළ ගොස් තිබෙන අතර මෙම අපේක්ෂාව 2019 දෙවන කාර්තුව තුළදීත් ඉහළ ගොස් තිබුණි. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    2018 හතරවන කාර්තුවේදී පහළ ගිය මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තුව 2019 පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු)  තුළදී යළිත් ඉහළ ගිය අතර එය 2019 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) තුළත් අඛණ්ඩවම වර්ධනය වුණි.  එය නැවතත් 2019 තුන්වන කාර්තුව තුළදී පහළ ගොස් ඇත.

     

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.

    Friedrich Naumann Stiftung Fur Die Freiheit සමග සම්බන්ධ වෙමින් ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරයි