2019 පළමු කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

    August, 6, 2019

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු)

     

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

     

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

     

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2019 ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක් ලෙස 2018 හතර වන කාර්තුවට සාපේක්ෂව අඩුවී තිබෙන බවයි. මේ අනුව මෙම අපේක්ෂාව පිට පිටම කාර්තු තුනක් පහළ ගොස් තිබෙන අතර 2018 තුන්වන කාර්තුවේ සිට මෙම පහළ යාම ආරම්භ විය. 2018 හතර වන කාර්තුවේදී ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2018 තුන්වන කාර්තුවට සාපේක්ෂව පහළ ගියේය.

     

    විශේෂයෙන්ම 2018 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ අනපේක්ෂිත දේශපාලන පරිවර්තනය නිසා ඇතිවූ අස්ථාවර ස්වභාවය මෙම අපේක්ෂාව නොවැම්බර් මාසයේ සිට පහළ යෑමට හේතුවක් වන්නට පුළුවන් අතර මෙම කාලයේදී විදේශ විනිමයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම සිදුවිය. රට තුළ දේශපාලන අවිනිශ්චිත ස්වභාවයක් 2019 පළමු කාර්තුව තුළද දකින්නට ලැබුණි.

     

    ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මේ කාලය තුළදී ශ්‍රී ලංකාවේ මූර්ත ආර්ථික වර්ධනය අඩු මට්ටමක තිබූ බවයි. 2019 පළමු කාර්තුව තුළදී සංචාරක ඉපැයීම් වර්ධන වී තිබෙන නමුත් විදේශ ශ්‍රමිකයින් සිදුකර තිබෙන ප්‍රේෂණ අඩුවී තිබීම කැපී පෙනේ.

     

     

     

     

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ රටේ ආර්ථික කටයුතු ප්‍රසාරණයවීම සඳහා ඉතාමත් වැදගත් පුද්ගලික අංශය වෙත බැංකු ක්‍රමයෙන් සැපයූ ණය ප්‍රමාණය 2019 මුල් මාස දෙක තුළදී 2018 හතරවන කාර්තුවේ පෙන්වූ සැලකිය යුතු ඉහළ යාමට සාපේක්ෂව අඩුවූ බවයි.  මහ බැංකුව පවසා තිබෙන්නේ 2019 වසර සහ ඉන් ඉදිරියට මෙරට උද්ධමනය 4%-6% ත් අතර පරාසයක පවතිනු ඇති බවයි.

     

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2019 පළමු කාර්තුව තුළදී (ජනවාරි, පෙබරවාරි, මාර්තු) 2018 හතරවන කාර්තුවට සාපේක්ෂව පහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2019 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු) තුළදී 2018 හතරවන කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් තිබේ.  (02 වන ප්‍රස්ථාරය බලන්න)

     

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    2018 හතරවන කාර්තුවේදී පහළ ගිය මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තුව 2019 පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු)  තුළදී යළිත් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

     

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.