2019 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ඉහළට

    October, 22, 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 3.4 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2019 සැප්තැම්බර් මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් වන පිළිවෙලින් සියයට 4.9 සහ සියයට 5.1 මගින් පෙන්නුම් කළ පරිදි ආහාර හා ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මීට අමතර ව, පෙර වසරේ අනුරූප මාසයේ පැවති අඩු පදනම් අගය ද මෙම ඉහළ යෑම සඳහා දායක විය.

    වාර්ෂික සාමන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 2.0 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 2.3 දක්වා ඉහළ ගියේය.

    ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන් හි මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.7ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයෙහි එළවළු, සහල් සහ ලොකු ළුණු මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි අධ්‍යාපන සහ රෙදිපිළි සහ පාවහන් උප කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 5.9 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.6 දක්වා පහළ ගියේය. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 අගෝස්තු මාසයේ දී පැවති සියයට 5.0 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා ඉහළ ගියේය.