2021 ඔක්තෝබර් මාසයේ දී වාර්තාගත අපනයන ආදායමක්

    November, 22, 2021

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,160.62 දක්වා වැඩි වී තිබේ. මෙය 2021 වසරේ මාසයක් තුළ දී ඩොලර් බිලියනය ඉක්මවූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වූ පස්වැනි අවස්ථාව වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි මෙල් මහතා පැවසුවේ, මෙය ඉතිහාසයේ ඕනෑම  වසරක ඔක්තෝබර් මාසයක් තුළ දී වාර්තා වී තිබෙන වැඩිම වෙළෙඳ‌ භාණ්ඩ අපනයන ආදායම බවයි.

    ඇඟලුම් (43.4%), වියන ලද රෙදි (86.6%) සහ සාදන ලද රෙදිපිළි භාණ්ඩ (116.3%) අපනයනවල ශක්තිමත් කාර්ය සාධනයක් සමඟින් ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 509 දක්වා 42.8% කින් ඉහළ ගොස් ඇත.

    කාර්මික සහ ශල්‍ය අත්වැසුම් (6.5%) සහ වායුමය සහ රබර් ටයර් සහ ටියුබ් (32.9%) අපනයනවල ශක්තිමත් කාර්ය සාධනයක් සමඟින් රබර් සහ රබර් නිමි නිෂ්පාදනවල අපනයන ආදායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 91.9 දක්වා 14.5% කින් වැඩි වී ඇත.