2021 දී ජන සංගණනයක්

    September, 24, 2020

    ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10 කට වරක් පවත්වනු ලබන අතර, සංගණන ආඥාපනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මීළඟ සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම සංගණනය මඟින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන ජන සංඛ්‍යාව, එහි භූගෝලීය ව්‍යාප්තිය, ජන වාර්ගික ව්‍යාප්තිය සහ ජනගහනයේ ප්‍රජා විද්‍යාත්මක හා සමාජයීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ ගුණාත්මක හා කාලීන දත්ත සහ තොරතුරු ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ලබා දේ. ගෝලීයව සහ රට තුළ පැවති COVID 19 වසංගත තත්ත්වය හේතුවෙන් 'ජන හා නිවාස සංගණනය - 2021' හි සැලසුම් කටයුතුවලට බලපෑම් ඇති වූ බැවින්, පහත සඳහන් පරිදි එම සංගණනයේ කටයුතු පැවැත්වීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * 2020 වර්ෂයේ ජූලි මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එම සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියරෙහි කටයුතු 2021 වර්ෂයේ ජනවාරි මස සිට මැයි මස දක්වා පැවැත්වීම.

    * ගණන් ගැනීමේ අදියර 2021 ජුනි මස සිට නොවැම්බර් මස දක්වා පැවත්වීම.

    * දත්ත ප්‍රචාරණය කිරීම 2021 නොවැම්බර් මස සිට 2022 මැයි මස දක්වා සිදු කිරීම.

    * ගණන් ගැනීමේ අදියරෙහි දී රැස් කරනු ලබන තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීම පිණිස පවත්වනු ලබන පශ්චාත් ගණන් ගැනීමේ සමීක්ෂණය 2022 වර්ෂයේ දී සිදු කිරීම.