2021 CLA විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් සමාගමට සම්මාන ත‍්‍රිත්වයක්

    May, 6, 2022

    ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා පසුගියදා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadership Academy) විසින් පවත්වන ලද 2021 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සමාගමේ අංශ ප‍්‍රධානීන් තිදෙනෙකු සම්මානයට පාත‍්‍ර විය.

    ඵලදායී කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ‘Lead Right’ වැනි ප‍්‍රමුඛ වැඩසටහන් හරහා සමාගමේ සෑම අංශයකම සිටින කළමනාකරුවන් ඵලදායී හා පරිවර්තනීය නායකයින් බවට පත් කිරීමට එයාර්ටෙල් ලංකා අරමුණු කරයි. දේශීය ආයතන සහ එයාර්ටෙල් ගෝලීය නායකත්ව ඇකඩමිය වැනි හවුල්කාරීත්වයන් සමඟ එක්ව එයාර්ටෙල් නිරන්තරයෙන් එවැනි වැඩසටහන්වල නිරත වේ.

    මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘විශිෂ්ට සේවාවක් ලබා දීමේ අපගේ ආයතනික ක‍්‍රියාවලිය තුළ ඉදිරියේදී ඇති විය හැකි ගැටළු අවශ්‍යතා හා වෙනස්කම් පිළිබඳව කල්තියා ක‍්‍රියාත්මක වන අතරතුර අපගේ කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයින් අතර නායකත්වය සහ උපායමාර්ගික කුසලතාවන් වර්ධනය කිරීමට ද අප උත්සාහ කරනවා. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන් නිසැකවම උගත් සහ බහුවිධ කුසලතාවලින් යුත් නායකයින් ඇති කිරීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.’’ යනුවෙනි.

    මෙහිදී එයාර්ටෙල් ලංකා හි මූල්‍ය අංශයේ, ව්‍යාපාර සැලසුම්කරණ හා විශ්ලේෂණ ප‍්‍රධානී, එරන්ද සිරිවර්ධන සහ Contact Experience ප‍්‍රධානී, ෆාවාස් නිසාම්ඞීන්, ‘‘ආයතනික දැක්ම අනුව කටයුතු කිරීම’’ යන කාණ්ඩයෙන් සම්මානයට පාත‍්‍ර වූ අතර Channel Accounting ජ්‍යෙෂ්ඨ කළමනාකාර, දුමින්ද අකලංක, ‘‘මෙහෙයුම් ප‍්‍රතිඵල සහ ක‍්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය’’ යන කාණ්ඩයෙන් සම්මානය පාත‍්‍ර වීම කැපී පෙනිනි.

    එයාර්ටෙල් ලංකා හට මෙම ජයග‍්‍රහණය හිමිවූයේ තෝරා ගැනීමේ වට දෙකක් යටතේ සිදු කළ සාර්ථක ඇගයීමකින් පසුවය. එහිදී පළමු වටයේදී එක් එක් සාමාජිකයාගේ සේවා ස්ථානයේ එකට වැඩ කරන මිතුරන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතර සමීක්ෂණයක් පවත්වන ලදී. දෙවන වටයේදී, තෝරාගත් පුද්ගලයින් CLA හි විශේෂඥයින් සමඟ සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටියේය.

    මොවුන් තිදෙනා නායකත්ව ශෛලීන්, කණ්ඩායම් කළමනාකරණ කුසලතා, උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීම, පුද්ගලික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සහ තවත් බොහෝ අංශ සඳහා විශිෂ්ට කුසලතා පෙන්නුම් කර තිබේ.

    මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් එරන්ද සිරිවර්ධන මහතා පැවසුවේ ”එයාර්ටෙල් ලංකා හි සේවය කිරීමේදී දක්නට ලැබුණු ප‍්‍රධාන සිත් ඇදගන්නා සුළු සාධකයක් වූයේ ඉතා නිවැරදිව රාජකාරී පැවරීමත් සමඟ සම්බන්ධ වී ඇති ඵලදායී උපායමාර්ගයයි. එහි කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.” යනුවෙනි.

    ‘‘පාරිභෝගිකයාට ඉහළ තෘප්තිමත් සේවාවක් ලබා දීම සඳහා එහි මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරන කළමනාකාරීත්වයක් සහ ආයතනය තුළ එකම සේවා අත්දැකීමක් බෙදාහදා ගන්නා අපූරු කණ්ඩායමක සහාය නොමැතිව, කිසිඳු ව්‍යාපාරයකට විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට නොහැකියි.” යනුවෙන් සිය ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ෆවාස් නිසාම්ඞීන් පැවසුවේය.

    තවද මේ පිළිබඳව අදහස් දක්වමින් දුමින්ද අකලංක පැවසුවේ ‘‘කාලයත් සමඟ හොඳින් පවත්වාගෙන යනු ලබන සබඳතා සියලූ පාර්ශවයන්ට ඵලදායී ප‍්‍රතිලාභ අත්කර දෙන බව මම සැමවිටම විශ්වාස කරනවා. සමාගමට දිගුකාලීන සාර්ථකත්වයන් ගෙන ඒමට හැකි වූ මගේ නායකත්වය පිළිගැනීම, සහයෝගය ලබා දීම සහ ශක්තිමත් ලෙස පවත්වා ගැනීමට සහාය ලබා දීම පිළිබඳව මා එයාර්ටෙල් ලංකා සමාගමට ස්තුතිවන්ත වෙනවා.’’ යනුවෙනි.

    විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙල යනු ක්ෂේත‍්‍රයේ සිටින විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා ඇගයීමට ලක් කිරීම සඳහා පවත්වනු ලබන සම්මාන උළෙලකිx ඉහළ කාර්යසාධනයකින් යුතු සංස්කෘතියක් තුළින් ඊළඟ පරම්පරාවේ නායකයින් බිහි කිරීමේදී සමාගමේ විශ්වාසනීයත්වය හා ක‍්‍රමෝපායන් පිළිබඳව මෙම ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගම’ යන සම්මානයෙන් සම්මානයට පාත‍්‍ර කරයි. මෙම විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේ අරමුණ වන්නේ, නායකත්ව හැකියාව ඇගයීමේ ක‍්‍රම සහ කළමනාකරණ ශෛලිය, ක‍්‍රියාත්මක කිරීම සහ අවංකභාවය ආදිය මැන බැලීම තුළින් ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම කළමනාකරුවන් බිහි කරන සුවිශේෂී ආයතනික වටපිටාවක් හා සංස්කෘතියක් ගොඩ නැගීම හා අර්ථ දැක්වීමයි.

    (වමේ සිට දකුණට): Contact Experience ප‍්‍රධානී, ෆාවාස් නිසාම්ඞීන්, ව්‍යාපාර සැලසුම්කරණ හා විශ්ලේෂණ ප‍්‍රධානී, එරන්ද සිරිවර්ධන සහ Channel Accounting ජ්‍යෙෂ්ඨ කළමනාකාර, දුමින්ද අකලංක.