2022 ආණ්ඩුවේ වියදම රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අට දහසක්

    October, 7, 2021

    2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අට දහසක් (2,505,346,558,000.00) හෙවත් රු. බිලියන 2,505 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත. අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි මේ බව සඳහන් වේ. මෙයින් රු. බිලියන 1,776.40 ක් පුනරාවර්තන වියදම් හා රු. බිලියන 728.94 ක් මූලධන වියදම් වශයෙන් වර්ගීකරණය කර ඇත.

    මෙය 2022 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආන්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතකි.