2022 දී ආණ්ඩුවේ ණය රු. බිලියන දහදාහකින් වැඩිවෙලා

    May, 8, 2023

    මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වන එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

    විශේෂයෙන් ම පසුගිය වසර කිහිපය පුරා, තිරසාරාත්මක නොවන මට්ටම් කරා ක්‍රමයෙන් ගමන් කළ මධ්‍යම රජයේ නොපියවූ ණය, 2022 වසරේ මුල් භාගයේ දී තීරණාත්මක මොහොතක් කරා ළඟා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් විදේශීය ණය ආපසු ගෙවීම රජය විසින් තාවකාලිකව අත්හිටුවීමක් නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ යෑම් හමුවේ විදේශීය මූල්‍යනය වෙත පවතින ප්‍රවේශය සීමිත වීම හේතුවෙන්, දළ නිල සංචිත යොදා ගෙන ණය සේවාකරණයේ අඛණ්ඩව නියැලීම, දළ නිල සංචිත උග්‍ර ලෙස පහත වැටීමට හේතු විය. විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවාකරණ වියදම් වර්ධනය වීම සහ 2022 වසරේ අප්‍රේල් මස මුල් භාගය වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාවිත කළ හැකි සංචිත සම්පූර්ණයෙන් ම සිඳී යෑමට ආසන්න වීමත් සමඟ තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස තෝරාගත් විදේශීය ණය ආපසු ගෙවීම අත්හිටුවීමක් නිවේදනය කිරීමට රජයට සිදු වූ අතර, විස්තීර්ණ ණය පහසුකමක සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් හරහා ජා.මූ. අරමුදලෙහි සහාය ලබා ගැනීමටත්, ඉදිරි කාලය තුළ දී ණය තිරසාරභාවය තහවුරු කිරීම අරමුණු කර ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් පසුව ආරම්භ කිරීමටත් පියවර ගනු ලැබිණි.

    රජයේ විශාල මූල්‍යන අවශ්‍යතාවල බලපෑම, විනිමය අනුපාතිකයේ තියුණු අවප්‍රමාණය වීම මෙන්ම රජය සතු ව්‍යවසායයන්ගේ තෝරාගත් ණය මධ්‍යම රජයේ ණය වශයෙන් අවශෝෂණය කර ගැනීම පිළිබිඹු කරමින්, මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ ගියේය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය, 2021 වසර අවසානයට පැවති සියයට 100.1ට සාපේක්ෂව 2022 වසර අවසානය වන විට සියයට 113.8ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, 2022 වසර තුළ දී ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණ වීම මූලික වශයෙන් පිළිබිඹු කරමින්, 2021 වසර අවසානයේ දී ද.දේ.නි.යෙන් සියයට 37.0ක්ව පැවති දේශීය ව්‍යවහාර මුදලින් තක්සේරු කළ මධ්‍යම රජයේ නොපියවූ විදේශීය ණය, 2022 වසර අවසානය වන විට ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 51.6ක් දක්වා ඉහළ ගියේය.

    විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමත් සමඟ, විදේශීය ණයෙහි සාපේක්ෂ දායකත්වය 2022 වසර අවසානය වන විට ඉහළ ගිය අතර, සමස්ත ණය තොගයට දේශීය ණයෙහි සාපේක්ෂ දායකත්වය 2021 වසර අවසානයේ පැවති සියයට 63.0 සිට 2022 වසර අවසානය වන විට සියයට 54.7ක් දක්වා පහත වැටුණි. 2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 2,270.5ක් වූ නොපියවූ භාණ්ඩාගාර බිල්පත් තොගය 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 4,113.9ක් දක්වා ඉහළ යෑම මූලිකව ම පිළිබිඹු කරමින්, නොපියවූ කෙටි කාලීන දේශීය ණය, 2021 වසර අවසානයේ සිට 2022 වසර අවසානය වන විට සියයට 35.9කින් ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස, සමස්ත දේශීය ණය තොගයට භාණ්ඩාගාර බිල්පත්වල දායකත්වය, 2021 වසර අවසානයේ පැවති සියයට 20.5 සිට 2022 වසර අවසානය වන විට සියයට 27.4ක් දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙත ලබා දුන් තාවකාලික අත්තිකාරම් ගිණුමේ නොපියවූ ණය තොගය, 2021 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 150.1 සිට 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 235.6ක් දක්වා ඉහළ ගියේය. රජය විසින් 2022 වසරේ දී බැංකු අයිරාවේ ශේෂයෙන් කොටසක් පියවූ බැවින්, බැංකු තැන්පතු අඩු කළ විට ඉතිරිව පවතින අනෙකුත් ශුද්ධ කෙටි කාලීන ණය, 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 81.8ක ඍණ ශේෂයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, මැදි සහ දිගු කාලීන දේශීය ණය තොගය, 2021 වසර අවසානයේ දී වාර්තා වූ රුපියල් බිලියන 7,957.4ක සිට 2022 වසර අවසානය වන විට සියයට 24.2කින් ඉහළ ගියේය. නොපියවූ දේශීය ණය තොගයේ ප්‍රධානම කොටස පිළිබිඹු කරමින් භාණ්ඩාගාර බැඳුම්කර, 2021 වසර අවසානයේ දී සමස්ත නොපියවූ ණය තොගයෙන් සියයට 62.8කට (රුපියල් බිලියන 6,966.2කට) දැක්වූ දායකත්වයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී මුළු ණය තොගයෙන් සියයට 57.9කට (රුපියල් බිලියන 8,709.1කට) දායක විය. මේ අතර, මෙම වසර තුළ දී ආයෝජකයන්ට සිදු කළ යුතු ගෙවීම් පියවීම හේතුවෙන්, 2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 455.2ක් (එ.ජ. ඩොලර් මිලියන 2,271.1ක්) වූ නේවාසිකයන් සතු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 382.1ක් (එ.ජ. ඩොලර් මිලියන 1,052.3ක්) දක්වා අඩු විය. විනිමය අනුපාතිකය තියුණු ලෙස අවප්‍රමාණය වීම නිසා, නේවාසිකයන් සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම, දේශීය මුදලින්, 2021 වසර අවසානයට පැවති රුපියල් බිලියන 372.6ක අගයේ සිට 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 635.4ක් දක්වා ඉහළ ගිය අතර, එහි විදේශීය ව්‍යවහාර මුදල් අගය, එ.ජ. ඩොලර් මිලියන 500ක කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවීම හේතුවෙන්, 2021 වසර අවසානයේ වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,859.0ක සිට 2022 වසර අවසානයේ දී එ.ජ. ඩොලර් මිලියන 1,750.0ක් දක්වා පහළ ගියේය. සමාලෝචනයට ලක් කෙරෙන කාලය අවසන් වන විට, අක්වෙරළ බැංකු ඒකකවලින් ලබා ගත් නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 131.4ක් (එ.ජ. ඩොලර් මිලියන 361.8ක්) දක්වා, 2021 වසර අවසානයේ සිට රුපියල් බිලියන 7.9කින් අඩු විය. තවද, 2021 වසර අවසානයේ දී බැංකු අංශය හරහා ලබා ගත් ණය සමස්ත දේශීය ණයෙන් සියයට 47.3ක් වූ අතර, එය 2022 වසර අවසානය වන විට සියයට 56.7ක් දක්වා ඉහළ ගියේය. 2021 වසර අවසානය වන විට රුපියල් බිලියන 1,391.3ක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය, 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 2,575.7ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2022 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මධ්‍යම රජයට ලබා දෙන ලද ණයෙහි සැලකිය යුතු ඉහළ යෑමක් වාර්තා විය. වෙළඳපොළ දායකත්වය අඩු වීම හමුවේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්වලට ලබා දෙන ලද ඍජු දායකත්වය සහ මහ බැංකුව වෙත පරිපාලනමය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මෙම ඉහළ යෑමට හේතු විය.

    මධ්‍යම රජයේ නොපියවූ විදේශීය ණය ප්‍රමාණය, නාමික වශයෙන්, 2021 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 6,517.0 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 12,458.2ක් දක්වා ඉහළ ගියේය. 2022 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල ප්‍රධාන ව්‍යවහාර මුදල්වලට එරෙහිව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම මූලිකව හේතු කරගෙන, සමස්ත ණය සඳහා විදේශීය ණය දැක්වූ දායකත්වය, 2021 වසර අවසානයේ දී වාර්තා වූ සියයට 37.0 සිට 2022 වසර අවසානය වන විට සියයට 45.3ක් දක්වා ඉහළ ගියේය. දේශීය මුදල අවප්‍රමාණය වීමේ බලපෑම මෙන්ම ආර්ථිකය අර්බුදය තුළ දී ඉලක්කගත සහනාධාර ලබා දීම සඳහා බහුපාර්ශ්වික ණය අරමුදල් ලැබීම හේතුවෙන්, විදේශිය ණය කළඹ තුළ බහුපාර්ශ්වික ණය, 2021 වසර අග වාර්තා වූ රුපියල් බිලියන 1,895.3 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 3,611.6ක් දක්වා ඉහළ ගියේය. තවද, ලං.ඛ.නී.සං., ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ලං.වි.ම. සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ණය වගකීම් කිහිපයක් මධ්‍යම රජයේ ණය වෙත ඇතුළත් කර ගැනීම, ඉන්දීය ණය පහසුකම වැනි මානුෂීය ආධාර සැපයීම පිණිස ලද ණය පහසුකම් මෙන්ම ව්‍යවහාර මුදල අවප්‍රමාණය වීම මූලිකව හේතුකරගෙන, 2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 4,621.6ක් ලෙස පැවති ද්විපාර්ශ්වික සහ වාණිජ ණය, 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 8,846.6ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. වාණිජ ණය අතර, අනේවාසිකයන් විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල සිදු කළ ආයෝජනයන්හි රුපියල් අගය, එ.ජ. ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 1,678.5කින් ඉහළ ගියේය. අනේවාසිකයන් විසින් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල සිදු කළ ආයෝජන, 2021 වසර අවසානයේ දී, පිළිවෙළින්, රුපියල් බිලියන 0.2ක් සහ රුපියල් බිලියන 1.7ක් ලෙස වාර්තා වූ අතර, එය 2022 වසර අවසානය වන විට, පිළිවෙලින්, රුපියල් බිලියන 12.5ක් සහ රුපියල් බිලියන 13.1ක් දක්වා ඉහළ ගියේය. 2022 වසර තුළ දී විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම නිසා ඇති වූ අගයේ විචලනය (ච්රසඑහ ඩ්රස්එසදබ) හේතුවෙන් විදේශ විනිමයෙන් නාමනය කරන ලද ණයෙහි රුපියල් අගය 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 5,617.2කින් (ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 23.3කින්) පමණ ඉහළ ගියේය.

    තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 වසරේ දී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ජා.මූ. අරමුදල විසින් සිදු කරන ලද ණය තිරසාරත්ව විශ්ලේෂණයට අනුව ණය තිරසාරත්ව ඉලක්ක සපුරාලිය හැකි සහ නොපියවූ ණය කළමනාකරණය කළ හැකි මට්ටමකට ණය අඩු කිරීමට මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප ඇගයීමේ ක්‍රියාවලියක රජය නිරත ව සිටී. 2032 වසර වන විට නොපියවූ රාජ්‍ය ණය, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 95කට වඩා පහළ මට්ටමකට අඩු කිරීම, 2027 සිට 2032 දක්වා කාලය තුළ දී මධ්‍යම රජයේ දළ මූල්‍යන අවශ්‍යතාවයේ සාමාන්‍යය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 13කට වඩා අඩු අගයක පවත්වා ගැනීම සහ මධ්‍යම රජයේ විදේශීය ණය සේවාකරණ ගෙවීම් 2027 සිට 2032 දක්වා යන කාලයේ දී ඕනෑම වසරක් තුළ ද.දේ.නි.යෙන් සියයට 4.5කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අපේක්ෂිතය.