2022 IPL ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ සැලැස්මක්

    January, 13, 2022

    ඉන්දියාවේ මේ වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය යළිත් වරක් භයානක මට්ටමකට පැමිණ තිබේ. අද (13) දිනයේ දී 247,000 ක නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම මේ අතුරින් අලුත්ම පුවතයි.

    තත්ත්වය මෙසේ තිබිය දී එළඹෙන අප්‍රේල් මාසය වන විට කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට නොලැබුණහොත් මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවෙන් පිටත වෙනත් රටක පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

    එහිදී IPL තරඟාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා දකුණු අප්‍රිකාව පිළිබඳ සලකා බැලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පළමු වරණය යොමුව තිබේ. 2009 වසරේ දී IPL තරඟාවලිය පවත්වන ලද්දේ ද දකුණු අප්‍රිකාවේය.

    මේ අතර මෙවර IPL ක්‍රිකට් සැණකෙළිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව පවතින බව මුල් වරට අද (13) දිනයේ දී ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර සිටියේය.

    කෙසේවෙතත් කොවිඩ්-19 තත්ත්වය හමුවේ මෙවර IPL තරඟාවලියේ කාලසටහන නැවත වරක් සලකා බලන ලෙසට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් එල්ල වී තිබේ.