2023 වැඩිම සංචාරක පැමිණීම නොවැම්බර් මාසයේ දී. ලක්ෂ 1 1/2 ඉක්මවයි

    December, 4, 2023

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 151,496 ක විදෙස් සංචාරකයින් පිරිසක් පසුගිය 2023 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ තිබේ. මෙය 2023 වසරේ තනි මාසයක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලෙසින් වාර්තා වේ.

    එසේම 2020 පෙබරවාරි (207,507) මාසයෙන් පසුව එක් මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය ලෙසින් ද මෙය සැලකිය හැකිය. ඒ අනුව කොවිඩ් වසංගතයෙන් පසුව හා ශ්‍රී ලංකා මුහුණ දුන් ආර්ථික හා දේශපාලනික අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවට තනි මාසයක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව වන්නේ මෙයයි.

    2023 නොවැම්බර් මාසයේ මෙම වාර්තාගත සංචාරක පැමිණීමත් සමඟම 2023 වසරේ මාස 11 ක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,276,951 ක් ලෙසින් සටහන් වී තිබේ. මෙම වාතාවරණය තුළ 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි විශ්වාසයකින් සිටී.

    ඉතිහාසයේ මේ දක්වා වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය 2018 වසරේ දී වාර්තා වී ඇති අතර එය 2,333,796 කි.

    2019 අප්‍රේල් මාසයේ දී සිදු වූ පාස්කු ප්‍රහාර ඛේදවාචකය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් 2019 වසරේ සංචාරක පැමිණීම පෙර වසරට සාපේක්ෂව 18% ක පහළ යෑමක් වාර්තා කරන ලදී. 2019 වසරේ සමස්ත සංචාරක පැමිණීම වාර්තා වූයේ 1,913,702 ක් ලෙසිනි.

    2019 වසරෙන් පසු වාර්ෂික සංචාරක පැමිණීම මිලියනයේ සීමාව මුල්වරට පසුකරන ලද්දේ මෙම 2023 වසරේ දීය.