March, 18, 2026
2025 වසර සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2024 වසරට සාපේක්ෂව සියයට 5ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
2025 වසරේ ආර්ථික කාර්යසාධනය නිරීක්ෂණය කිරීමේ දී, වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ‘යහපත් ආර්ථිකයක්‘ පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවන් කෙරෙහි ඇති කළ බලපෑම, මූල්‍ය සේවා, රක්ෂණ සේවා සහ මෝටර් රථ අලුත්වැඩියා ඇතුළු තොග සහ සිල්ලර වෙළෙඳාම හරහා ආර්ථිකයේ වාර්තා වූ ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් පිළිබිඹු වී ඇත. 2025 වසරේ දී ආර්ථික වාතාවරණය, අංශ කිහිපයක් හරහා ශක්තිමත් ආර්ථික කාර්යසාධනයක් ඇතිකිරීම සඳහා හිතකර විය. ඒ සඳහා 2025 වසරේ තුන්වන කාර්තුවේ මුල් භාගයේ දී ව්‍යවසායක හිතකාමීව උද්ධමනය ඉහළ යාමට පටන් ගත් අතර, පොලී අනුපාතය අඛණ්ඩව අඩුවීම මධ්‍යයේ බොහෝ දුරට ස්ථාවර විනිමය අනුපාතයක් ඇතිවීමට ඉවහල්විය. මූලික වශයෙන්, පතල් හා කැණීම් කටයුතු, ඉදිකිරීම් කර්මාන්තය සහ නිමවුම් කර්මාන්ත කටයුතු 2025 වර්ෂයේ දී වාර්තා වූ ආර්ථික වර්ධනය කෙරෙහි බලපා ඇත. 2025 වසරේ දී විදුලිය, ජලය සහ බොහෝ සේවා ක්‍රියාකාරකම්වල වාර්තා වූ කැපීපෙනෙන ප්‍රසාරණයන් මගින් මෙට තවදුරටත් ශක්තිමත් විය.

Video Story