2026දීත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ සිටින්නේ ඇයි?

    May, 8, 2026

    දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි.

    ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයට යටත් වී සිටීම, ආර්ථික වර්ධනය හා සමාජ ආරක්ෂණය අතර ඇති හිඩැස නැවතත් ප්‍රශ්නයට ලක් කරයි. World Bank projection අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2024 දී 24.9% සිට 2025 දී 22.4% දක්වා අඩුවීමට අපේක්ෂා කළත්, එය තවමත් 2019 මට්ටමට වඩා දෙගුණයකට ආසන්නව ඉහළ මට්ටමක පවතින බව වාර්තා කර ඇත.

    ආර්ථිකය යම් තරමින් ස්ථායී වෙමින් තිබියදීත්, දරිද්‍රතාවය තවමත් ඉහළ මට්ටමක පවතින්නේ ඇයි?

    ආර්ථික ස්ථායීතාවය සහ ජනතාවගේ ජීවන තත්ත්වය අතර කාල පරතරයක් තිබෙනවා. විදේශ විනිමය සංචිත වැඩිවීම, උද්ධමනය අඩුවීම, සංචාරක ආදායම් සහ විදේශ මුදල් ගලා ඒම් වර්ධනය වීම වැනි macroeconomic indicators යහපත් වුවද, ඒවා ගෘහස්ථ ආදායම, රැකියා, ආහාර මිල, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් වැනි ජනතාවට දැනෙන ක්ෂේත්‍රවලට ඉක්මනින් පරිවර්තනය වන්නේ නැහැ. අර්බුද සමයේදී බොහෝ පවුල්වල ඉතුරුම් අවසන් වුණා. ණය බර වැඩි වුණා. ආදායම් අඩු වුණා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පෝෂණය වැනි ක්ෂේත්‍රවල බලපෑම් දිගුකාලීනව පවතිනවා. ඒ නිසා, ආර්ථිකය පත්‍රිකාවල ස්ථායී වුවත්, ගෙදර මුළුතැන්ගෙයි තත්ත්වය තවමත් අස්ථාවරයි.

    “දරිද්‍රතාවය 22%” කියන සංඛ්‍යාව අපට කියන්නේ කුමක්ද?

    එය සංඛ්‍යාවක් පමණක් නොවෙයි. එයින් අදහස් වන්නේ රටේ ජනගහනයෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි පිරිසක් තවමත් අවම ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු තත්ත්වයක සිටින බවයි. තවත් වැදගත් කරුණක් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටින පිරිසක් ද ඉතා අවදානම් තත්ත්වයක සිටීමයි. ලෝක බැංකුව සඳහන් කළ පරිදි, ජනගහනයෙන් තවත් 10%ක් පමණ දරිද්‍රතාවයට ආසන්න අවදානම් තත්ත්වයක ජීවත් වේ.

    ඒ අනුව ප්‍රශ්නය වන්නේ දරිද්‍රයන් පමණක් නොව, දරිද්‍රතාවයට වැටීමට ඉතා ආසන්න පිරිසද ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

    ආහාර මිල සහ දරිද්‍රතාවය අතර සම්බන්ධය කුමක්ද?

    ආහාර වියදම, අඩු ආදායම් ලබන පවුල්වල ජීවිතයේ විශාල කොටසක් අල්ලා ගන්නවා. වැඩි ආදායම් ලබන පවුලකට ආහාර මිල ඉහළ යාම අපහසුතාවයක් වුවත්, අඩු ආදායම් පවුලකට එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමන් වියදම්, නිවාස වියදම් සියල්ලටම බලපාන අර්බුදයක් බවට පත්වෙනවා. World Bank වාර්තාව අනුව, අඩු ආදායම් පවුල් ආහාර සඳහා වෙන් කරන වියදම් කොටස, වැඩි ආදායම් පවුල්වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි බවත්, food insecurity තවමත් අභියෝගයක් බවත් සඳහන් වේ.

    එබැවින් ආර්ථික ප්‍රතිසංස්කරණය ගැන කතා කිරීමේදී ආහාර මිල, පෝෂණය, ගෘහස්ථ ආදායම් සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය එකට බැලිය යුතුයි.

    දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය  (CEPA) වැනි ආයතනයක කාර්යභාරය මේ තත්ත්වයේදී වැදගත් වන්නේ ඇයි?

    CEPA වැනි පර්යේෂණ ආයතන දරිද්‍රතාවය සංඛ්‍යාවක් ලෙස පමණක් නොව, මිනිසුන්ගේ ජීවිත අත්දැකීම් ලෙසත් විග්‍රහ කරයි. CEPA විසින් පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ සමාජ-ආර්ථික පසුබිම්වල ජනතාව සමඟ දරිද්‍රතාවය හා අසමානතාව පිළිබඳ අදහස් ගොනු කිරීමේ වැඩසටහන් සිදු කර ඇති බව CEPA ප්‍රකාශනවල දක්වා ඇත.

    ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ground reality එක අමතක වුවහොත්, ආධාර වැඩසටහන් සහ ආර්ථික සැලසුම් දෙකම ඉලක්කය මඟ හැරිය හැකියි. ඒ නිසා දත්ත, ක්ෂේත්‍ර අත්දැකීම් සහ ප්‍රතිපත්ති අතර පාලමක් තැනීම CEPA වැනි ආයතනවල වැදගත් කාර්යභාරයකි.

    දරිද්‍රතාවය අඩු කිරීමට ආර්ථික වර්ධනය පමණක් ප්‍රමාණවත්ද?

    නැහැ. ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය වුවත්, එය inclusive growth එකක් විය යුතුයි. රටේ GDP වැඩි වීම, කොළඹ හා නගර කේන්ද්‍රවල ක්‍රියාකාරකම් වැඩි වීම, සමාගම්වල ලාභ වැඩි වීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම වර්ධනය ග්‍රාමීය ජනතාවට, කාන්තාවන්ට, තරුණයන්ට, කුඩා ව්‍යාපාරිකයන්ට, වතුකරයට සහ අවිධිමත් රැකියාවල නියුතු ජනතාවටත් ළඟා විය යුතුයි.

    ODI Global සහ CEPA එක්ව සකස් කළ “Sustaining Transformative Growth in Sri Lanka, 2025-2030” වාර්තාවත්, දිගුකාලීන වර්ධනය සඳහා macroeconomic stability, exports, investment, factor markets, poverty reduction සහ state capacity වැනි ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර හයක් අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාවට ඉදිරියේදී ප්‍රධාන ප්‍රතිපත්ති අභියෝගය කුමක්ද?

    අභියෝගය වන්නේ ස්ථායීකරණයෙන් වර්ධනයට යාමයි. IMF වැඩසටහනක් තුළ macro stability ලබාගැනීම වැදගත් වුවත්, එය අවසාන ඉලක්කය නොවෙයි. අවසාන ඉලක්කය විය යුත්තේ ජනතාවගේ ආදායම වැඩි කිරීම, රැකියා නිර්මාණය, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අපනයන වර්ධනය සහ දරිද්‍රතාවය ස්ථිරව අඩු කිරීමයි.

    ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් නිවැරදි ඉලක්කගත විය යුතුයි. ආධාර අවශ්‍ය පුද්ගලයාටම යා යුතුයි. ඒ සමඟම රැකියා අවස්ථා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කෘෂිකර්ම නවීකරණය, තාක්ෂණය හා අධ්‍යාපන කුසලතා වැඩිදියුණු කිරීමද එකට ගමන් කළ යුතුයි.

    සමාජ ආරක්ෂණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර සමබරතාවය කෙසේ පවත්වාගත යුතුද?
    සමාජ ආරක්ෂණය වියදමක් ලෙස පමණක් නොව, ආයෝජනයක් ලෙස බැලිය යුතුයි. දරුවෙකුගේ පෝෂණය අඩුවීම අනාගතයේ අධ්‍යාපන ප්‍රතිඵලවලට සහ රැකියා හැකියාවට බලපානවා. ගෘහස්ථ ආදායම කඩා වැටීම, ණය බර වැඩි වීම සහ සෞඛ්‍ය වියදම් වැඩි වීම පවුලක් පරම්පරා ගණනාවකට දරිද්‍රතාවයේ රඳවා තබා ගත හැකියි.

    එබැවින් fiscal discipline අවශ්‍ය වුවත්, එය ජනතාවගේ මූලික අවශ්‍යතා කප්පාදු කිරීමක් බවට පත් නොවිය යුතුයි. ප්‍රතිසංස්කරණ මිනිසුන්ගේ ජීවිතවලට ගැළපෙන ලෙස නිර්මාණය කළ යුතුයි.

    දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ වසර 25ක  (CEPA) අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රධාන පාඩම කුමක්ද?

    දරිද්‍රතාවය යනු ආදායම අඩුවීම පමණක් නොවෙයි. එය අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය, නිවාස, ජීවනෝපාය, සමාජ ආරක්ෂාව සහ dignity යන සියල්ල සමඟ බැඳුණු තත්ත්වයකි. ඒ නිසා දරිද්‍රතාවය අවම කිරීම සඳහා එක් අමාත්‍යාංශයකට හෝ එක් ආධාර වැඩසටහනකට පමණක් සීමා වූ විසඳුම් ප්‍රමාණවත් නැහැ.

    අවශ්‍ය වන්නේ සාක්ෂි මත පදනම් වූ, ජනතාවට ළඟා වන, දිගුකාලීන, සහ දේශපාලන වෙනස්වීම්වලින් නොකැඩෙන ප්‍රතිපත්ති රාමුවකි.

    ශ්‍රී ලංකාව අර්බුදයෙන් පසු යම් ආර්ථික ස්ථායීතාවක් ලබා තිබුණත්, එය සාර්ථක බවට සැලකිය හැක්කේ දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස අඩු වූ විට පමණි. 2026 දීත් ජනතාවගෙන් 22%ක් දරිද්‍රතාවයට යටත්ව සිටීම, වර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ පහළ ස්ථර වෙත ගලා යෑමේ අඩුපාඩුවක් පෙන්වයි.

    ආර්ථික වර්ධනය, සමාජ ආරක්ෂණය, ආදායම් උත්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එකට ගෙන යන වැඩපිළිවෙළක් නොමැතිව, ශ්‍රී ලංකාවට දරිද්‍රතාවය සංඛ්‍යාවෙන් අඩු කරගත හැකි වුවද, ජනතාවගේ ජීවන තත්ත්වය සැබෑ ලෙස ඉහළ නැංවීම දුෂ්කර වනු ඇත.