June, 8, 2026
මැදපෙරදිග කලාපයේ තීව්‍ර වූ ආතති තත්ත්වයන් සහ ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මතුවූ අභියෝගාත්මක ජාත්‍යන්තර හා දේශීය තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පැවතුණි. ගෝලීය අවිනිශ්චිතතා සහ බාහිර අංශයේ පීඩන හමුවේ වුවද, 2026 පළමු කාර්තුව තුළ දේශීය සාර්වමූල්‍ය තත්ත්වයන් සාධනීය මට්ටමක පැවතුණි. ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට ණය ලබා දීම්වල ඉහළ යාම නිසා, මෙම කාලසීමාව තුළ බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම් විසින් සපයන ලද මුළු ණය ප්‍රමාණය ඉහළ යමින් ණය වර්ධනය තවදුරටත් වේගවත් විය. ඒ අනුව, ණය නිරාවරණයන් වැඩි වශයෙන් පෞද්ගලික අංශය වෙත මාරු වූ අතර, රජය සහ රාජ්‍ය සංස්ථා වෙත පැවති නිරාවරණයන් සුළු වශයෙන් අඩු විය. ස්වෛරී-බැංකු සබඳතාව (sovereign-bank nexus) මඟින්, රජය සහ බැංකු ක්ෂේත්‍රය අතර අන්තර්සම්බන්ධතාවන් තවදුරටත් පිළිබිඹු විය.
මෙම කාර්තුව තුළ බැංකු අංශයේ ණය සහ තැන්පතු අතර අනුපාතය (credit-to-deposit ratio) පසුගිය වසර තුන තුළ පළමු වතාවට 70% සීමාව ඉක්මවා යමින් මූල්‍ය අතරමැදිකරණය (financial intermediation) තවදුරටත් වැඩි දියුණු වූ අතර, එමඟින් ණය දීමේ අඛණ්ඩ ප්‍රතිසාධනයක් පෙන්නුම් කළේය. කෙසේ වුව ද, දළ දේශිය නිශ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශයේ ණය සහ එහි දිගුකාලීන ප්‍රවණතාව අතර පරතරය ධනාත්මක කලාපය තුළ තවදුරටත් පුළුල් වූ අතර, එය එම අංශය තුළ පද්ධතිමය අවදානම් ගොඩනැගීමේ හැකියාව අවධාරණය කරයි. ඉදිරි කාලය තුළ, ඉහළ ගිය බලශක්ති මිල ගණන්, භාණ්ඩ මිල උච්චාවචනයන්, විනිමය අනුපාතයේ උච්චාවචනයන්, අහිතකර කාලගුණික තත්ත්වයන් සහ ඉහළ යන උද්ධමනය වැනි ගෝලීය අභියෝග, සාර්වමූල්‍ය තත්ත්වයන් මත පීඩා ඇති කළ හැකිය. එබැවින්, මූල්‍ය පද්ධති ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය (fiscal consolidation), ශක්තිමත් විදේශීය ස්වාරක්‍ෂක (External Buffers) සහ නැඟී එන සාර්වමූල්‍ය අවදානම් පිළිබඳ සවිමත් අධීක්ෂණය අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘2026 වසරේ පළමු කාර්තුව තුළ මූල්‍ය අංශයේ කාර්යසාධනය‘ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Video Story