ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ප‍්‍රධාන ඔඩෙල් අලෙවිසැලේ වර්ග අඩි 10,000 ක නව පරිශ‍්‍රයක් විවෘත කරයි

    August, 25, 2017

    සුප‍්‍රකට Aldo සන්නාමය ඇතුළු නවාංග රැසක් හඳුන්වා දෙයි

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි සිය ප‍්‍රධාන අලෙවි සැලට තවත් වර්ග අඩි 10,000 පරිශ‍්‍රයක් අළුතින් එක් කරමින් පාරිභෝගිකයින්ට තවත් නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදී තිබේ. මෙම පරිශ‍්‍රය සැලසුම් කර ඉදිකළේ ජාත්‍යන්තරව කීර්තියට පත්ව තිබෙන ගෘහ නිර්මාණ ශිල්පීය සමාගමක් වන ජර්මනිය පදනම් කරගත් Blocher Partners විසිනි. ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ප‍්‍රධාන ඔඩෙල් අලෙවිසැලට අභියස ඉදිකිරීමට නියමිත වර්ග අඩි 645,000 ක ODEL සාප්පු සංකීර්ණයද මෙම සමාගම විසින් සැලසුම් කරන ලදී.

    මෙම නව පරිශ‍්‍රයේ ප‍්‍රදර්ශණය කරන Aldo සහ Desigual වැනි ප‍්‍රමුඛතම ගෝලීය සන්නාම සහ  Nike, Reebok, Adidas මෙන්ම Canterbury වැනි සන්නාම වලින් සමන්විත වන නවීකරණය කළ ඔඩෙල් ක‍්‍රීඩා භාණ්ඩ අංශය සහ ලෝන්ජරි, පිහිනුම් ඇඳුම්, පිරිමි ඇඳුම් ඇතුළු පුළුල් පාරාසයක විහිදෙන සපත්තු සහ බෑග් තිබේ. එසේම, ජාත්‍යන්තර ඩෙනිම් සන්නාම වලින් පිරී පවතින ඔඩෙල් Denim Lab අංශය පිහිටා තිබෙන්නේ මෙම නව පරිශ‍්‍රය තුළයි. මේ අනුව, සමාගම පවසන්නේ මෙම නව පරිශ‍්‍රය තුළින් ඔඩෙල් පාරිභෝගිකයින්ට නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමටත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා අලෙවි සැලේ තත්ත්වය ඉහළ දැමීමටත් හැකිවී තිබෙන බවයි.

    මෙම පුළුල් කිරීම සමග ඔඩෙල් විසින් ප‍්‍රමුඛතම කැනේඩියානු ගෝලීය විලාසිතා පාවහන් සහ ආයිත්තම් සන්නාමයක් වන Aldo හඳුන්වා දී තිබෙන අතර ඉහළ රුචිකත්වයක් දක්වන කාන්තා සහ පිරිමි පාරිභෝගිකයින් අතර මෙම සන්නාමය ගෝලීය වශයෙන් ඉතාමත් ජනප‍්‍රිය එකකි. විලාසිතා වලින් සහ සුන්දරත්වයෙන් පිරිපුන් Aldo නිෂ්පාදන ප‍්‍රසිද්ධියට පත්ව සිටින බොහෝ පොප් සංගීතඥයින් සහ විලාසිතාකරුවන් අතර වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව තිබේ. මෙම සන්නාමය හඳුන්වාදීම මගින් බලාපොරොත්තු වන්නේ මෙරට වෙළඳපොළේ සන්නාමකරණය කළ පිරිමි සපත්තු සහ ආයිත්තම්වල තිබෙන හිඩැස පිරවීම වන අතර ඒ වෙනුවෙන් අවශ්‍යවන ජාත්‍යන්තර විලාසිතා සහ ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන වලින් මෙම සන්නාමය ශක්තිමත්ය. මේ අනුව, ඔඩෙල් විසින් ඉදිකර තිබෙන මෙම නව පරිශ‍්‍රය තුළදී පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ Aldo සපත්තු සහ ආයිත්තම් මිලදී ගැනීමේ අවස්ථාව ලැබී ඇත.

    මෙම නව පරිශ‍්‍රය තුළ ලෝකයේ තවත් සුප‍්‍රසිද්ධ විලාසිතා සන්නාමයක් වන Desigual නිෂ්පාදනද පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර ඇත. මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය ලෙස තම තත්වය තවත් තහවුරු කරමින් මෙම නව පරිශ‍්‍රය තුළ ජනප‍්‍රිය ගෝලීය සන්නාම වලින් පිරුණු පිහිනුම් ඇඳුම් සහ ලෝන්ජරි මාලාවක් අලෙවි කරන අතර කාන්තාවන් සඳහා සපත්තු සහ අත්බෑග් මාලාවක්ද අලෙවි කරයි.

    ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් උනන්දුවන අය වෙනුවෙන් මෙම නව පරිශ‍්‍රය තුළ ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාම අලෙවි කරන ‘ODEL Sports’ අලෙවි ස්ථානය නැවුම් ආකාරයෙන් පිහිටුවා තිබෙන්නේ විලාසිතාගාරය සහ එහි තිබුණු පිටුපස මෝටර් රථ අංගනය ඒකාබද්ධ වන පරිදියි. ‘ODEL Sports’ අලෙවි ස්ථානය තුළ මෙරට කිසිදු ස්ථානයකට සමකළ නොහැකි වන පරිදි ගෝලීය වශයෙන් කීර්තියට පත් කි‍්‍රීඩා ඇඟලූම් පෙළක් අලෙවි කරනු ලබයි.

    මෙහි ඉහළ තට්ටුව වෙන්කර තිබෙන්නේ ඇඟලූම්වල සිට පාවහන් දක්වා පිරිමින්ට අවශ්‍ය කාර්යාල සහ කාර්යාල නොවන විලාසිතා පෙළක් අලෙවි කිරීම සඳහායි. විලාසිතා වලට ලැදි පිරිමි පාර්ශවය සඳහා සියළුම විලාසිතා අවශ්‍යතා එක් වහලක් යටින් සපුරාගත හැකි ලෙස මෙම ස්ථානය නිර්මාණය කර ඇතැයි ඔඩෙල් සඳහන් කරයි. මීට අමතරව, Levi’s, Wrangler, Lee, Pepe ඇතුළු බොහෝ ජාත්‍යන්තර ඩෙනිම් සන්නාම වලින් සමන්විත The Denim Lab වෙත සාප්පු සවාරියේ යෑමටත් මෙම නව පරිශ‍්‍රයට පිවිසෙන පාරිභෝගිකයින්ට හැකිය. ඔඩෙල් ලගේජ් අංශයද මෙම නව පරිශ‍්‍රය තුළ පිහිටුවා තිබෙන අතර සුට්කේස්, ට‍්‍රැවල් බෑග් ඇතුළු නිෂ්පාදන මාලාවක් මෙම ස්ථානයෙන් පාරිභෝගිකයින්ට මිලදීගත හැකිය.

    වර්ග අඩි 10,000 කින් යුක්ත මෙම නව අලෙවි පරිශ‍්‍රය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති, අශෝක් පතිරගේ මහතා මෙසේ සඳහන් කළේය. ‘නව ODEL සංකීර්ණය ඉදිකිරීමත් සමග ප‍්‍රමාණය, තත්ත්වය සහ ඉදිරිපත් කරන විලාසිතා අතින් මෙරට අනිකුත් සියළුම තරගකරුවන් අභිබවා යනවා. අළුතින් විවෘත කර තිබෙන ජාත්‍යන්තර තලයේ වර්ග අඩි 10,000 ක පරිශ‍්‍රය තුළින් ODEL Mall පිළිබඳ ඉඟියක් ලබාගත හැකියි. ශ‍්‍රී ලංකාවේ විලාසිතා අලෙවි ක්ෂේත‍්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් පාරිභෝගිකයින්ට නිරන්තරයෙන් අප ලබාදීමට කටයුතු කරන වර්ධනය වෙමින් තිබෙන සන්නාම තත්ත්වයන් සහ සාප්පු සවාරි අත්දැකීමට මෙම නව පරිශ‍්‍රය කදිම උදාහරණයක්.’

    මෙම නව පරිශ‍්‍රය සමග ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ඔඩෙල් අලෙවිසැලේ ප‍්‍රමාණය වර්ග අඩි 52,000 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර පසුගිය මාස 08 තුළදී මෙම ස්ථානය වෙනුවෙන් සොෆ්ට්ලොජික් විසින් සිදුකළ මේ ආකාරයේ දෙවැනි ආයෝජනය වන්නේ මෙයයි. 2016 දෙසැම්බර් මාසයේදී සමාගම විසින් වර්ග අඩි 16,000 ක ‘The Promenade’ පරිශ‍්‍රය විවෘත කරනු ලැබුවේ සාප්පු සවාරියේ යෙදීමට පෙර හෝ පසුව පාරිභෝගිකයින්ට නිදහසේ සැරි සැරීමට හැකි ස්ථානයක් ලබාදෙමිනි.

    ඔඩෙල් විලාසිතා ජාලයේ ප‍්‍රමුඛතම අලෙවිසැල කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටා තිබෙන අතර මැජෙක්සිටි, ක්‍රෙස්කැට්, නුගේගොඩ, කොහුවල, තලවතුගොඩ, ගල්කිස්ස, මොරටුව, පානදුර, බත්තරමුල්ල, වත්තල, ජා-ඇල (කේ-සෝන්), කිරිබත්ගොඩ, කළුබෝවිල (ඔඩෙල් හෝම්), කැන්ඩි සිටි සෙන්ටර් යන ස්ථානවල පිහිටි අලෙවිසැල් සහ කොළඹ ඩච් හොස්පිට්ල්, බෙන්තොට සෙන්ටාරා සීසෑන්ඞ්ස් රිසෝට් ඇන්ඞ් ස්පා, ගාලූ කොටුව, මහනුවර ක්වීන්ස් හෝටලය, මීගමුව, පින්නවල සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ස්ථානවල පිහිටා තිබෙන ‘Luv SL’ අලෙවි සැල් වලින් ඔඩෙල් ශාඛා ජාලය සමන්විත වේ.