ගෘහ සේවක, සේවිකාවන්ටත් අර්ථ සාධක අරමුදල් ගෙවීමේ නව නීති – කම්කරු ඇමති

    April, 2, 2018

    ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

    අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “වැඩකරන ජනතාවට කඩිනමි, කාර්යක්ෂම සේවයක් ලබා දීම තමයි රාජ්‍ය සේවය තුළින් අපි රජයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. කම්කරු අමාත්‍යංශයේ වගකීම තමයි වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම.දිස්ත්‍රික් මට්ටමින් සියළු පහසුකම් සහිත, කම්කරු කාර්යාල ජාලයක් අපි ස්ථාපිත කරමින් යන්නේත් අන්න ඒ අරමුණ වෙනුවෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදනය කරන සහල් මෝල ,ඇඟලුම් ආයතන ඇතුළු ආයතන 3,000 ක් විතර තියෙනවා. එයින් 1,500ක් පමණ ආයතන තමයි සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ.සක්‍රීයව ක්‍රියාත්මක නොවන ආයතන ගැන නිරන්තරව පරීක්ෂා කර ඒවායෙහි සේවය කරන පුද්ගලයන්ගේ අර්ථ සාධක අරමුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර මෙම කාර්යාලය මගින් සිදු කළ යුතුයි.”

    “අපේ රටේ විශාල ප්‍රමාණයක් සිටින ගෘහ සේවක සේවිකාවන්ටත් අපේ රටේ මෙතෙක් හිමිනොවු පිළිගත් කම්කරු අයිතිවාසිකම් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැන් හිමිව තිබෙනවා.ඒ අනුව ඔවුනට අර්ථ සාධක අරමුදල්,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගෙවීමට සිදුවෙනවා.“

    “ඒවගේම වෘත්තීය අනතුරකට ලක්වුනොත් වන්දි ගෙවීමක් ඔවුනට මෙතෙක් හිමිවුනේ නෑ. නව නීති අනුව එම අයිතියත් ලැබෙනවා.මේ ආකාරයට වැඩකරන ජනතාවට හිමි කම්කරු අයිතිවාසිකම් සියල්ල ඔවුනට ලැබෙන ආකාරයේ නව කම්කරු නීති අපි හඳුන්වා දෙනවා.“

    “අපේ රටේ අවම වැටුප දැන් රුපියල් 10,000 යි.එම නීතිය අනුව කිසිදු සේවකයෙකුට රුපියල් 10,000 අඩුවෙන් පඩි ගෙවන්න බැහැ. ගෘහ සේවක සේවිකාවනුත් එම නීතියට ඉදිරියේ ඇතුල් කරනවා. ඒ වගේම ළමයි දෙදෙනෙකුට පමණක් සීමා වී තිබූ ප්‍රසූත නිවාඩු අයිතිවාසිකමත් සිමාවකින් තොරව ලබා දිමටත් දැන් අවශ්‍ය නීති සම්පාදනය කර තිබෙනවා.එයත් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    .