5 ශ්‍රේණියේ දරුදැරියන් 6,500 කට අධික පිරිසකට අත්වැලක් වෙමින් Janashakthi Life ‘ශිල්ප ශක්ති 2026’ සාර්ථක ලෙස නිමාව දකී

    September, 22, 2026

    රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමයක් වන Janashakthi Life, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් පවත්වන ප්‍රධානතම අධ්‍යාපනික වැඩසටහන වන ‘ශිල්ප ශක්ති’ වැඩසටහනේ 2026 අදියර පසුගියදා සාර්ථකව අවසන් විය. අඛණ්ඩව 12 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් Janashakthi Life දරන දීර්ඝකාලීන උත්සාහයක සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි වේ.

    දෙරණ FM සමඟ එක්ව ක්‍රියාත්මක කළ මෙවර වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් අධ්‍යාපනික සම්මන්ත්‍රණ 12 ක් පැවැත්වුණු අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,568 දෙනෙක් එම සම්මන්ත්‍රණවලට සහභාගී වූහ. එහිදී අධ්‍යාපනික හා විෂය කරුණු පමණක් නොව, විභාගය සඳහා සූදානම් වීමේ ක්‍රමවේද ඇතුළු පුළුල් මඟපෙන්වීමක් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදෙන ලදි. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට සාර්ථක ලෙස මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ඔවුන් තුළ ඇතිකරවීම සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානයක් යොමුකෙරිණි.  

    පළාත් භේදයකින් තොරව රට පුරා සිසු සිසුවියන්ට ගුණාත්මක අධ්‍යාපනික අවස්ථා උදාකර දීම සහ අධ්‍යාපනයේ විෂමතා අවම කිරීම ශිල්ප ශක්ති වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වේ. එමෙන්ම දරුවෙකුගේ අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා දෙමාපියන් ඉටුකරන වැදගත් භූමිකාව සම්බන්ධයෙන්ද මෙම වැඩසටහන තුළදී විශේෂ අවධානයක් යොමු වන අතර, ඒ නිසාම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට සහයෝගය ලබාදිය යුතු ආකාරය සහ ඔවුන් දිරිගැන්විය යුතු ආකාරය සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ සැසිද මෙම වැඩසටහනට ඇතුළත් කර තිබේ.

    ශිල්ප ශක්ති වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Janashakthi Life හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය.

    “පසුගිය වසර 12 පුරා ශිල්ප ශක්ති වැඩසටහන, අධ්‍යාපනය තුළින් දරුපරපුර සවිබලගැන්වීම සඳහා අප සතු කැපවීම අර්ථවත් ලෙස ප්‍රකාශයට පත් කළ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වුණා. මෙවරත් සිසුන් දහස් ගණනකට ඔවුන්ගේ අනාගත ඉලක්ක හඹා යාමට අවශ්‍ය දැනුම, මඟපෙන්වීම සහ ආත්ම විශ්වාසය ලබා දීමට හැකි වීම අපට මහත් සතුටක්. Janashakthi Life හි අප විශ්වාස කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ප්‍රජාවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමක් බවයි. එබැවින් සිසු පරපුරට ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීම සඳහා අප දිගින් දිගටම කැප වී සිටිනවා.”

    ඉදිරියේදී 2026 ශිල්ප ශක්ති වැඩසටහනට සහභාගි වූ සිසු සිසුවියන් අතරින් 20 දෙනෙකු දිනුම් ඇදීමක් මඟින් තෝරාගෙන ඔවුන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමටද Janashakthi Life කටයුතු යොදා ඇත. මෙම සිසුන්ගේ අධ්‍යාපන ගමනට තවදුරටත් සහාය වෙමින්, ඔවුන්ගේ අනාගත අභිලාෂයන් යථාර්ථයක් බවට පත් කර ගැනීමට සහය වීම මෙහි අරමුණ වී තිබේ.

    මෙම වටිනා අධ්‍යාපනික සමාජ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින්, ප්‍රජා සංවර්ධනයට දායක වන අතරම අනාගත පරපුරට තමන් සහ රට වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් ගොඩනැංවීමට දිගින් දිගටම අත්වැලක් වීමට Janashakthi Life බලාපොරොත්තු වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates