5000 හොර නෝට්ටු ජාවාරම මඩින්න මෙන්න කළයුතු දේ

    March, 26, 2014

    ව්‍යාජ මුදල් අච්චු ගැසීම තුරන් කිරීම සඳහා වඩාත්ම කළ යුතු වන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිළධාරිනියක අප සමග පැවසුවාය.

    දුලාංජලි ජයකොඩි මහත්මිය විසින් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කිරීමට යාමේ සිද්ධියට අදාළව අප ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් එතුමිය ඒ බව සඳහන් කළාය.

    ඇය පැවසුවේ ව්‍යාජ මුදල් නෝට්ටු වැටලීම් කරන අතරම වඩාත් ප්‍රතිඵලදායක වන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු වෙන්කර හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

    “ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි ඉදිරියේදීත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම වැඩිවෙලා කියල අපිට කියන්න අමාරුයි. ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමට ජනතාවට වෙනදාට වඩා පුළුවන්වීම නිසා ව්‍යාජ නෝට්ටු වැඩිපුර කොටුවෙනවා වෙන්න පුළුවන්.“

    යනුවෙන් ඇය කීවාය.

    හිටපු ජනාධිපතිවරයෙකු වු ආර්.ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියට ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් පුද්ගලයාගේ නිවසේ තිබී තවත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයාගෙන තිබෙන අතර දුලාංජලී ජයකොඩි මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව අනාවරණය වේ.

    කොළඹ, කුරුදුවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක දුලාංජලි ජයකොඩි මහත්මිය විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඊයේ පස්වරුවේ තැන්පත් කිරීමට උත්සාහ කර තිබුණු අතර මෙසේ තැන්පත් කෙරුණු රුපියල් පන්දහසේ නෝට්ටු 400 ම ව්‍යාජ ඒවා බවට හඳුනා ගැනුණි.