55 න් EPF ඉල්ලුවොත් දෙන්න පුළුවන් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    November, 24, 2020

    යම්කිසි පුද්ගලයෙකුට සිය සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභය වසය 55 දී ලබා ගැනීමට අවශ්‍ය නම් එය ලබා දිය හැකි බවත්, පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා ඉහළ නැංවූයේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවීම වැනි කරුණු සලකා බලා බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඊයේ (23) TV දෙරණෙහි විකාශය වූ 360 සජීවී සංවාදාත්මක වැඩසටහනේ දී යොමු වූ කරුණකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “55 කියලා අපි දැම්මේ විශ්‍රාම වයස මිනිස්සු අවුරුදු 60ක් වෙනකං ජීවත් වෙනකොට. සාමාන්‍යයෙන් ආයු අපේක්ෂාව තිබුණේ එහෙම. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ආයු අපේක්ෂාව 76-78 වෙනකං වැඩිවෙලා තියෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 78-79 වෙනකං ජීවත් වෙනවා නම්, අවුරුදු 24ක් සමාජයෙන් නඩත්තු කරන්නට අවශ්‍යයි. අනෙක් එක එයත් කියයි මට වැඩ කරන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙකුට වැඩ කරන්න පුළුවන්.  ඒ හින්දා තමයි එක වැඩක් ඉවර වෙලා විශ්‍රම අරගෙන ගිහිල්ලා වෙන වැඩක් කරන්නේ. දැන් ඒ අයට ඒ ආයතනයෙන් තව අවුරුදු 5ක් වැඩ කරන්න දෙනවා නම් මොකක්ද ඒකේ තියෙන වැරැද්ද?“

    ප්‍රශ්නය - “දැන් අවුරුදු 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් නේ. දැන් අවුරුදු 60 වෙනකං දීර්ඝ කළාම අවුරුදු 5ක් ඒක රඳවා ගන්න උගුලක් නෙමෙයිද මේක?“

    පිළිතුර - “ඔයගොල්ලේ උගුල්නේ හැම තැනම බලන්නේ. මම ඒ දවස්වල යෝජනා කෙරුවා මේකෙන් සියයට 20 ක් වුණත් දෙන්න කියලා. එහෙම කරන්න අවකාශයක් තිබෙනවා නම් 55න් මේක කරන්න බැරි කමක් නැහැ. යම්කිසි කෙනෙක් ඇවිල්ලා කිව්වා නං මට 55 න් සල්ලි ටික ඕනේ කියලා ඒක දෙන්න පුළුවන්. මොකකද් ප්‍රශ්නේ. 60 වෙනකං වැඩකරන්න කැමති නැද්ද ඒගෝල්ලෝ.“