7% පොළියට නිවාස ණය ලැබෙන්නේ මෙහෙමයි

    November, 26, 2020

    2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් (එනම් බැංකු ගිණුමක් හරහා වැටුප් ලබන සේවකයින්) ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

    ඒ අනුව එවැනි ණය සඳහා බලපත්‍රලාභී බැංකුවලට අවම වශයෙන් ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වසරකට සියයට 7ක පොලී අනුපාතිකයක් පමණි. ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයට (AWPR) වඩා සියයට 1ක ආන්තික සහිත පොලී අනුපාතිකයකින් අය කළ යුතු වේ. මේ සඳහා උපදෙස් ළඟදීම බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කෙරේ.

    අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී. ඉහළ වර්ධනයක් සහ ඉපැයීමේ හැකියාවක් ඇති ආර්ථික අංශ ප්‍රවර්ධන කිරීමේ අවශ්‍යතාවය ද මුදල් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තෝරාගත් අංශ සඳහා ණය දීමේ ඉලක්ක හඳුන්වා දීමට තීරණය කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.