99RetailStreet සමාගම මෙරට කුඩා පරිමාණ අලෙවිකරුවන් වෙනුවෙන් පොදු වාණිජ සේවාවක් සම්පාදනය කරයි

    September, 6, 2017

    ක්ලවුඩ් සේවාව මත පදනම් වූ 99RetailStreet සමාගම, කුඩා කඩ හිමියන්, තනි පුද්ගල ඖෂධහල් සහ වෙනත් කුඩා පරිමාණ අලෙවිකරුවන් සඳහා සේවා සම්පාදනය කරන පොදු වාණිජ සේවාවකි. එම සමාගම විකුණුම් වර්ධනය සහ ව්‍යාපාරික කාර්යක්ෂමතාව සඳහා ප්‍රවේශය ලබා දෙමින් මෙරට කුඩා පරිමාණ අලෙවිකරුවන් හට සුපිරි වෙළඳසැල් වැනි නූතන වෙළඳ අවස්ථා වෙත පිවිසීමේ අවස්ථාව හිමිකර දෙයි.

    මෙම වසරේ අගෝස්තු මාසය වන විට 99RetailStreet සේවාව සමග සම්බන්ධ අලෙවිසැල් ප්‍රමාණය 300 ඉක්මවනු ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ එම අගය තවත් වැඩිවනු ඇත. ඒ සඳහා ප්‍රවේශ විය හැකි දේශීය වෙළඳපලෙහි අගය ඇමරිකානු ඩොලර් බිලියන 23ක් පමණවනු ඇති අතර වෙළඳසැල් 100,000කට අධික ප්‍රමාණයක් ඒ අතර වේ. ශ්‍රී ලංකාව හැරුණු කොට ගිනිකොනදිග ආසියානු කලාපය, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව යන රටවල ද සිය මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කිරීම 99RetailStreet සමාගමේ ඉලක්කයයි.

    99RetailStreet සමාගමේ වර්ධනය ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ප්‍රාග්ධන ආයෝජන ආයතනයක්වන BOVCapital ආයතනය සිදු කළ ඩොලර් මිලියනයක ආයෝජන වටය හේතුවෙන් තවදුරටත් වේගවත් විය.

    99RetailStreet සමාගම සිය ක්ලවුඩ් පද්ධතියට සම්බන්ධ POS යන්ත්‍ර (Point of Sales) සහ ගෙවීම් ක්‍රම සමගින් මෙරට කුඩා පරිමාණ අලෙවිකරුවන් හට සිය සේවා විසඳුම් ලබා දෙයි. එම සමාගම විසින් හඳුන්වා දී ඇති POS යන්ත්‍රය තිර දෙකකින් යුතුවන අතර, පළමු තිරය තම ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගනුදෙනු සහ වාර්තා වෙත පිවිසිය හැකි භාවිතයට පහසු බහු භාෂා අතුරු මුහුණතකින් සමන්විත වේ. දෙවන මුහුණත මගින් වේගයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ (FMCG) අලෙවියේ නිරත සමාගම්, බැංකු, විදුලි සංදේශන සමාගම් සහ වෙනත් දැන්වීම්කරුවන් හට ද්වීමාර්ගික සන්නිවේදන අවස්ථා සමගින් එම මොහොතේම ස්ථානය සහ සංදර්භය මත පදනම් වූ දැන්වීම්, ප්‍රවර්ධන සහ ළෙන්ගතු පාරිභෝගිකයන් වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීමේ අවස්ථාව හිමිකර දෙයි. තනි-තනි වශයෙන් පාරිභෝගික අත්දැකීම වර්ධනය කිරීමටත්, ඔවුන් සමග සන්නිවේදනය කිරීමටත් සන්නාම හිමිකරුවන්ට මෙය කදිම අවස්ථාවක් වෙයි.

    ශ්‍රී ලංකාවේ ආරම්භක අවදියේ පසුවන ව්‍යවසාය වෙනුවෙන් ආයෝජනය කිරීමටත්, ඔවුන් සමග සමීපව කටයුතු කිරීමටත් පිහිටුවන ලද BOVCapital ප්‍රාග්ධන ආයෝජන ආයතනය ඇමරිකානු ඩොලර් 100,000 සිට මිලියන 2 දක්වා ආයෝජන සිදු කරයි. මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන BOVCapital ආයතනයේ ප්‍රාරම්භකයන් විසින් පසුගිය වසර පහ තුළ මෙරට ව්‍යවසාය 20කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ආයෝජන සිදු කර ඇත. මූලික ප්‍රාග්ධනය ලබා දීමෙන් ඔබ්බට යමින් එම ආයතනය ශ්‍රී ලංකාවේ අසමසම ව්‍යාපාරික පරිසරය පිළිබඳ අගනා උපදෙස් අංකුර ව්‍යවසායකයන් හට ලබා දෙමින් මෙරට ව්‍යවසාය ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා නොමඳ දායකත්වයක් ලබා දී ඇත.

    "අපට දේශීය වශයෙන් ඇති අත්දැකීම් හේතුවෙන් 99RetailStreet සමාගමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට මෙන්ම, අගනා ව්‍යවසාය සබඳතා රැසක් ද ඇති කර ගනිමින් සිය සාර්ථකත්වයේ ගමන වේගවත් කර ගැනීමට හැකි වුණා. උපදෙස් ලබා දීම සහ දේශීය ජාලය වෙත පිවිසීමේ අවස්ථා පුළුල් කිරීම සඳහා අප ලබා දෙන සමීප සහයෝගය 99RetailStreet වැනි ව්‍යවසායවලට ධනාත්මක බලපෑමක් ඇතිකර තිබෙනවා" යනුවෙන් BOVCapital ප්‍රධාන හවුල්කාර ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.