රුපියලේ වටිනාකම වැඩිවෙයි

    June, 14, 2016

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ක්‍රමයෙන් වැඩිවෙන ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපය පුරාවටම දක්නට ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනය තුළ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 142.54 ක් ලෙසත් විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා වී තිබේ.

    ඩොලරයට එරෙහි මෙම විනිමය අනුපාතිකයන් පසුගිය අප්‍රේල් 04 වැනිදා ට පසු සටහන් වූ අඩුම අගයයන් ලෙසින් වාර්තා වේ.

    ගෙවීගිය සතිය තුළ දී ඩොලර් මිලියන 58.53 ක් බැඳුම්කර සඳහා විදේශ ආයෝජන ලෙසින් පැමිණ තිබෙන අතර ඊයේ (13) අවසාන වූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ දීද ඩොලර් මිලියන 250.04 ක් වටිනා බැඳුම්කර අනුමත කර තිබිණි. මෙම තත්ත්වය තුළ එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වන ස්වභාවයක් පෙන්නුම් කරනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

    මේ අතර සෙසු විදේශ විනිමයවලට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියලේ අගය වර්ධනය වී තිබේ. අද (14) දිනයේ දී බ්‍රිතාන්‍ය ස්ටර්ලිංග් පවුමක ගැනුම් මිල රු. 201.56 ක් ලෙසත් විකුණුම් මිල රු. 208.81 ක් ලෙසත් වාර්තා විය. 2016 අප්‍රේල් 16 වැනිදායින් පසු බ්‍රිතාන්‍ය පවුමක් සඳහා වර්තා වූ අඩුම රුපියල් අගය මෙයයි.

    මීට අමතරව යූරෝ, ප්‍රංශ ෆ්‍රෑන්ක්, කැනඩා-ඕස්ට්‍රේලියා හා සිංගපූරු ඩොලර් යනාදී විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

    කෙසේ වෙතත් ජපන් යෙන් හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියලේ අගයයෙහි පහළ යාමක් වාර්තා වේ. අද දින ජපන් යෙන් එකක ගැනුම් මිල රු. 1.3373 ක් හා විකුණුම් මිල රු. 1.3910 ක් ලෙසින් වාර්තා විය.මෙය ජපන් යෙන් සඳහා ඉතිහාසයේ වාර්තා වී තිබෙන වැඩිම රුපියල් අගය වේ. විශේෂයෙන්ම මේ තත්ත්වය ජපානයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන මිල ගණන් ඉහළ යාමට දැඩිව බලපා ඇතැයි අද දෙරණ Biz කළ විමසීමක දී වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කර සිටියහ.