Softlogic Glomark දියත් කළ “ගෙට Better Life” ප්‍රචාරණ වැඩසටහන, Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

    September, 7, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සල් ජාලයක් වන Softlogic GLOMARK, ඉකුත් දා පැවති Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී ලෝයල්ටි සහ නිෂ්පාදන අත්පත් කරගැනීම  හා නැවත එළිදැක්වීම සඳහා වන Gold and Black Dragon සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම කීර්තිමත් සම්මානය දිනාගනිමින්, වත්මන් පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්වකීය ගමන්මග සාර්ථකව වෙනස් කළ බව විදහා දක්වන GLOMARK, මිල ගණන් හෝ පහසුව පමණක් සලකා වෙළෙඳ පොළ තරගයට අවතීර්ණ නොවී, “ඔබේ නිවහනට හොඳම ජීවයක්” ලබාදීමේ සංකල්පය අනුව කටයුතු කිරීමට සමත් විණි. ඒ අනුව දියත් කළ සුවිශේෂී ප්‍රචාරණ වැඩසටහන හරහා පාරිභෝගිකයින්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම, මුළු පවුලේම සෞඛ්‍යය හා යහපැවැත්ම උදෙසා මහඟු අවස්ථාවක් බවට පත් කෙරිණි.

    "ගෙට Better Life" නමින් රට පුරා දියත් කෙරුණු ප්‍රචාරණ ව්‍යාපාරය, හුදෙක් වෙළෙඳ දැන්වීමකට පමණක් සීමා වූවක් නොවේ. එය, පාරිභෝගිකයින්ට හුරුපුරුදු ජින්ගල් නාදයෙන් සහ ආකර්ෂණීය දර්ශනවලින් ඔබ්බට ගොස්, ඔවුන්ගේ භාණ්ඩ මිලදීගැනීමේ අත්දැකීම මුළුමනින්ම වෙනස් කිරීමට සමත්  ප්‍රචාරණ වැඩසටහනකි. සුවිශේෂී ලෙස සකස් කළ වෙළෙඳ සල් පරිශ්‍රයක, ඒ සඳහාම පුහුණු කළ කාර්ය මණ්ඩලයක සහයෙන්, ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන ගණනාවක් හරහා පාරිභෝගිකයින්ට වඩාත් ගුණදායක හා සෞඛ්‍යාරක්ෂිත තේරීම් පහසුවෙන් ලබාගැනීමට එමඟින් ඉඩකඩ සලසා තිබිණි.

    පාරිභෝගිකයින්ගේ හදවත් දිනාගනිමින්, GLOMARK කළ මෙම සුවිශේෂී වෙනසත් සමඟින්, එහි ලෝයල්ටි පාරිභෝගික පදනම 21% කින්ද, වෙළෙඳ සල්  කරා ඇදී එන  පාරිභෝගික ප්‍රතිශතය 33% කින්ද වැඩි විය. විශේෂයෙන්ම, එම වෙළෙඳ සල්වල ස්ථිර පාරිභෝගික පදනමද  50% කින් ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ, මිල හා පහසුව පමණක් නොසලකා, සැබෑම පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලමින් ඒ හරහා ගොඩනඟාගන්නා විශ්වාසය අතිශයින් සාර්ථක වන බවයි.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Softlogic GLOMARK හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරී ඕ'කොනර් මහතා මෙලෙස  සඳහන් කළේය. “මෙම සම්මානය, අපේ දීර්ඝකාලීන සැලසුම් සාර්ථක වෙමින් තිබෙන බවට කදිම සාක්ෂියක්. අපි වෙළෙඳ පොළට මෙම සන්නාමය හඳුන්වාදී තිබෙන්නේ, මිල හෝ පහසුව පමණක් නොසලකා, ප්‍රයෝජනවත් අත්දැකීමක් තුළින් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන්. GLOMARK හි අනාගතය වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදුකරන කාලයක, මෙවැනි කීර්තිමත් ඇගයීම්වලින් හා අපගේ ව්‍යාපාරික දියුණුව තුළින්ද, අපගේ මාවත නිවැරදි බවට වූ විශ්වාසය තහවුරු කිරීමට මෙම සම්මානය ඉමහත් ශක්තියක්.”

    Softlogic GLOMARK හි අලෙවි ප්‍රධානී චමින්ද්‍රි පිළිමතලාවේ මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසයි. "අපේ පාරිභෝගිකයින් දැන් වැඩි වැඩියෙන් යොමු වී සිටින්නේ, වඩාත් බුද්ධිමත්, සෞඛ්‍යාරක්ෂිත, හොඳම නිෂ්පාදන තෝරාගැනීමටයි. අප සන්නාම සැලසුම් හරහා එම වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දී ඇති බව, මෙයින් තහවුරු වෙනවා. අපගේ සුපිරි වෙළෙඳ සල්වල සෑම රාක්කයකින්ම පාරිභෝගිකයින්ට මඟ පෙන්වමින් අපි සිදුකරන්නේ, වඩාත් යහපත් තෝරාගැනීම් සමඟින් ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට සහය වීමයි. ඒ අනුව, අපි හුදෙක් සුපිරි වෙළෙඳ සලක කාර්ය භාරය ඉක්මවා ජනතාවගේ ජීවන දැක්මත්, ජීවන ක්‍රමයත් හැඩගැස්වීමේ වගකීම, අපි අතිශයින්ම බැරෑරුම් ලෙස භාරගෙන තිබෙනවා. 'Better Life', එක් වරක් පමණක් දියත් කෙරෙන ප්‍රචාරණ වැඩසටහනක් නෙවෙයි. එය, හුදෙක් පාරිභෝගිකයින් වෙළෙඳ සල්වලට ගෙන්වා ගැනීමට වඩා, ඔවුන් හා සැබෑ සම්බන්ධතා ගොඩනඟා ගනිමින්, GLOMARK හි දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා මූලික වශයෙන් සිදුකෙරෙන වෙනස්කම් පෙන්නුම් කරන වැඩසටහනක්. "

    Softlogic GLOMARK හි වාණිජ හා සැපයුම් ජාල අධ්‍යක්ෂ, තිලෝක මරසිංහ මහතා මෙසේ පැවසීය.  “අපගේ සැපයුම්කාර ආයතන හා  අප සමඟ අත්වැල් බැඳගත් ආයතන මේ උදාර අරමුණට වටා පෙළගස්වා තිබෙන අතර, එම අරමුණ සාක්ෂාත් කරගැනීමට ක්‍රියාකාරීව එක්වන හැටියටත් අපි ඔවුන් දිරිගන්වනවා. මෙය ආරම්භය තුළින්, ඉදිරියේදී අපගේ අනෙකුත් වෙළෙඳ සල්ද 'Better Life' සංකල්පය අනුව ඉදිරිපත් කිරීම අරමුණයි. සුපිරි වෙළෙඳ සල්වලින්  භාණ්ඩ තෝරා ගැනීමේ පටන් ඔවුන්ට මඟපෙන්වීම් දක්වා සෑම පියවරක්ම සකස් කර තිබෙන්නේ, යහපත් තේරීම් සඳහා පහසු පරිදියි. ඒ අනුව, අපගේ ඉහළ යන ස්ථාවර පාරිභෝගික පදනමෙන්, මෙය පාරිභෝගිකයින්ට වඩාත් ගැළපෙන බවට සනාථ වෙනවා.”

    එළඹෙන නොවැම්බර් මාසයේදී, අට වැනි සංවත්සර සැමරුම යෙදී ඇති Softlogic GLOMARK,  වසර හතකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ වෙළෙඳ පොළේ නමක් රැන්දූ ප්‍රමුඛ පෙළේ ආයතනයකි. ක්ෂේත්‍ර රැසක විහිදුණු පුළුල් ව්‍යාපාර ජාලයක් සහිත Softlogic Holdings PLC සමාගම් සමූහය අනුබද්ධ GLOMARK, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය සේවා, භාණ්ඩ අලෙවිය, මූල්‍ය සේවා, වාහන සහ විනෝදාස්වාද සේවා යන ක්ෂේත්‍ර රැසක් හරහා ආර්ථිකයට අභිමානවත් දායකත්වය සපයයි.