ජපාන ආයෝජකයන්ගේ මෙහෙයුම් ගැටලුවලට විසඳුම් දෙමින් ශ්‍රී ලංකා – ජපාන ව්‍යාපාරික පරිසර කමිටුවේ පස්වැනි තාක්ෂණික ක්‍රියාකාරී රැස්වීම සාර්ථකව පවත්වයි

    September, 7, 2026

    ජපාන ආයෝජකයන් ශ්‍රී ලංකාවේදී මුහුණ දෙන මෙහෙයුම් හා ව්‍යාපාරික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා - ජපාන ව්‍යාපාරික පරිසරය පිළිබඳ කමිටුවේ ක්‍රියාකාරී මට්ටමේ පස්වැනි රැස්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් පසුගියදා පවත්වන ලදී.

    කාර්තුමය වශයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ජපාන තානාපති කාර්යාලය, ජපාන විදේශ වෙළෙඳ සංවිධානය (JETRO), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA), ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (JCCI), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජපාන සමාගම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අදාළ රජයේ ආයතන නියෝජනය කරන නිලධාරීන් සහභාගී වූහ.

    මෙම සාකච්ඡාවේදී, සහභාගී වූ ජපාන ව්‍යාපාරික ආයතනවලට තම තමන්ගේ ක්ෂේත්‍රවල පවතින ගැටලු සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර, අදාළ රජයේ ආයතන විසින් එම ගැටලු සඳහා එම අවස්ථාවේදීම කරුණු පැහැදිලි කිරීම සහ පිළිතුරු ලබාදීම සිදු කරන ලදී. “මෙහිදී නිෂ්පාදන හා කාර්මික නිපැයුම් නිෂ්පාදනය , පාරිභෝගික හා සෙෘඛ්‍ය ප්‍රවර්ධනය , අගය එකතු කළ වෙළදාම , පාරිසරික සේවා, යටිතල පහසුකම් , සැපයුම් කළමනාකරණය  සහ බල ශක්තිය  යන ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද අවධානය යොමු විය.”

    රජයේ ආයතන සහ ජපාන සමාගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡා ඵලදායී හා සාධනීය වූ අතර, අඛණ්ඩ සංවාදය, සමීප සහයෝගීතාව සහ රාජ්‍ය ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම මෙහිදී තහවුරු කරන ලදී.

    ආයෝජකයන් සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉටු කරන කාර්යභාරය මෙහිදී යළි අවධාරණය කරන ලදී. ආයෝජකයන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම කමිටුව වැදගත් වේදිකාවක් බවද අවධාරණය කෙරිණි.

    එමෙන්ම, අපනයන අභිමුඛ කාර්මික කොරිඩෝ සංවර්ධනය (Export-Oriented Industrial Corridor Development) පිළිබඳ ශ්‍රී ලංකා - ජපාන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (Joint Working Group) ප්‍රථම රැස්වීමද   සමගාමී ලෙස  මෙහිදී පැවැත්වුණු අතර, එය දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව (Bilateral Economic Partnership) නව මගකට යොමු කරන වැදගත් සංධිස්ථානයක් ලෙස හඳුනා ගැනිණි.