March, 18, 2025
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම' ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 'ගෝලීය පරිසර පහසුකම' (GEF) විසින් අරමුදල් සපයනු ලබන 'මුල් ක්‍රියාකාරී සහයෝගීතාවය' (EAS) යටතේ සිදුවන ක්‍රියාකාරකමක් ලෙස වන අතර ඒ තුළින් ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග ඒකාබද්ධ කිරීම සඳහා ගෝලීය ජෛව විවිධත්ව රාමුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
සති 6ක් පුරා පැවති මෙම ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කිරීම පසුගියදා සිදුවූ අතර එය, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යක්‍ෂ චාන්දනී විල්සන් මහත්මිය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භාර නිලධාරී මාලින් හර්විග් මහත්මිය, ශ්‍රී ලංකාවේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකි මහතා, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල වික්‍රමසිංහ මහතා ඇතුළු තවත් රජයේ ප්‍රධාන නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් යන අයගේ සහභාගීත්වයෙන් යුතුව සිදුවිය.
මෙම ව්‍යාපෘතිය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ ආහාර පිසීමේ තරඟයක් පැවැත්වුණු අතර ඒ හරහා ඌන භාවිතයක් සහිත භෝග භාවිතයෙන් නිර්මාණය කරන ලද ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීමට රට පුරා සිටින සියළුදෙනාට අවස්ථාව උදා විය. අවසාන දිනයේදී මෙම තරගාවලියේ අවසන් තරගකරුවන් තිදෙනා සජීවීව පැවැති ආහාර පිසීමේ අවස්ථාවකට මුහුණ දුන් අතර ඒ හරහා කජු දලු ව්‍යාංජනය (Cashew leaf curry) ඉදිරිපත් කළ දයාත්‍රී නයනතාරා මුණසිංහ ප්‍රථම ස්ථානය ලෙසත් මදටිය දලු ව්‍යාංජනය (Red bead leaf curry) ඉදිරිපත් කළ උදේශිකා හංසනී සහ අත්තික්කා ව්‍යාංජනය (Curried Wild Figs) ඉදිරිපත් කළ පන්චමී හේවාවිසේන්ති ඒකාබද්ධ අනුශුරයන් ලෙසද ජයග්‍රහණ ලබා ගත්හ. අවසාන තරඟකරුවන් තිදෙනා විසින් සකස් කරන ලද කෑම වර්ග විනිශ්චය කිරීම ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය සහ යූ ටියුබ් චරිතයක් වන Dinux Kitchen සහ ව්‍යාපෘති නියෝජිතයන් නියෝජිතයින් සහ හවුල්කරුවන් අතින් සිදුවිය.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භාර නිලධාරී මාලින් හර්විග් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. "මෙම ව්‍යාපෘතිය හරහා ආහාර පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් සැමට පෝෂදායි අනාගතයක් බිහිකිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරනවා. එසේම දේශීය ආහාර සහ නවෝත්පාදන ක්‍රමවේදයන් නැවත හඳුන්වාදීම මඟින් අහාර සුරක්ෂිතතාවයට සහ පාරිසරික තිරසාරභාවයට සහය ලබා දෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වූ සියලු හවුල්කරුවන්ට අපි අපගේ ස්තූතිය පිරිනමන අතර තවදුරටත් මෙවැනි තිරසාර මුලපිරීම් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා."
මෙම ව්‍යපෘතියට නාගරික සහ ග්‍රාමීය ප්‍රජාව, අන්තර්ජාලය හරහා හා ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල සම්බන්ධ කරගත් ක්‍රියාකාරකම් අන්තර්ගත විය. මෙම ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරකම් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සකස් කරන ලද ඌන භාවිතයක් සහිත අමුද්‍රව්‍ය මඟින් සකස් කළ හැකි ආහාර වට්ටෝරු 50ක් අඩංගු පොතක් නිර්මාණය කරනු ලැබීය. ඉදිරි මාස කිහිපය තුළදී මෙම පොත, ලෝක ආහාර වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වන 'ගෙදර හැදූ ආහාර මගින් පාසල් පෝෂණය’ කිරීමේ ව්‍යාපෘතිය (HGSF) ව්‍යාපෘතිය යටතේ ජාතික පාසල් ආහාර වැඩසටහන සඳහා ආහාර සපයන සැපයුම්කරුවන් වෙත පිරිනැමීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කගත කණ්ඩායම් වන ගර්භනී මව්වරුන් සහ හෝටල් පාසල් සිසුන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් වලටද ලබා දෙනු ඇත. එසේම සාමාන්‍ය ජනතාවට අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ ආහාර සැපයුම්කරුවන් සඳහා දඹුල්ල දෙපාර්තමේන්තු ලේකම් කාර්යාලයේදී දැනුම හුවමාරු කිරීමේ සැසියක් පවත්වන ලද අතර, මෙහිදී ඌන භාවිතයක් සහිත භෝග සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ හොඳම පෝෂණ භාවිතයන්, අමුද්‍රව්‍ය තෝරා ගැනීම සහ ශාකවල ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
Thema Collection සමඟ හවුල්කාරිත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ හෝටල් පාසල් සිසුන් 25 දෙනෙකු සමඟ දැනුම බෙදා ගැනීමේ සැසියක් දඹුල්ල Aliya Resort හිදී පැවැත්වුණු අතර මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ලෝක ආහාර වැඩසටහනේ තාක්ෂණික විශේෂඥයින් විසින් ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ සහ පෝෂණයේ වැදගත්කම පිළිබඳ අවබෝධය ලබාදුන් අතර සූපවේදීන් විසින් ඌන භාවිතයක් සහිත අමුද්‍රව්‍ය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදෙනු ලැබීය. තවද සති අන්ත දෙකකදී පුද්ගලයින් 1000 කට අධික පිරිසකට කෑම වර්ග පිරිනැමීමේ ක්‍රියාකාරකමක් දියත උයන, බත්තරමුල්ල සහ ගෝල් ෆේස් ග්‍රීන් යන ස්ථාන වල පැවැත්විණි. ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් අවම පරිභෝජනයක් සහිත අමුද්‍රව්‍ය වන දන්දිල, වද මල්, අල කොළ හා මුස්වැන්ද කොළ යොදාගනිමින් සකස් කරන ලද ආහාරපාන සහ අතුරුපස රසවිදීමට සහ ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාවක් ද ජනතාවට ලබාදෙන ලදී.
"ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් සපිරුණු රටක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ ඇති ඕනෑම විශේෂයක් නැතිවීම මුළු ලෝකයටම සිදු වන පාඩුවක්. මේ වන විටත් ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 30%ක් සංරක්‍ෂණය කර ඇති අතර එම ප්‍රමාණය වර්ධනය කරගැනීමේදී විවිධ සීමාවන්ට මුහුණදීමට සිදුවෙනවා. මේ හේතුවෙන් අපි ප්‍රජාව පදනම් කරගත් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් වෙත අවධානය යොමු කළ යුතුයි. ඌන භාවිතයක් සහිත භෝග ප්‍රචලිත කිරීම තුළින් පුද්ගලයන් මෙම භෝග සංරක්‍ෂණය කිරීමට පෙළඹෙනවා. අපගේ ජෛව විවිධත්වයෙන් සංරක්‍ෂණය කරන ඕනෑම වැඩසටහනකට සහය දීමට පරිසර අමාත්‍යාංශය කැපවී සිටිනවා." පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අධ්‍යක්‍ෂ චාන්දනී විල්සන් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු දෙකක් වූයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලු දෙකක් විසඳීමයි. එම ගැටලු දෙක නම් ජෛව විවිධත්වය වේගයෙන් පහත වැටීම සහ එය මුහුණදෙන තර්ජන සහ වඩා වැඩි පෝෂණයක් ලබාදීම උදෙසා විවිධ ආකාරයේ ආහාර සඳහා ප්‍රජාවන්ට ප්‍රවේශය ලබාදීමය. ඌන භාවිතයක් සහිත ප්‍රචලිත කිරීම මඟින් පෝෂ්‍ය පදාර්ථ බහුල භෝග සඳහා වාණිජමය වටිනාකමක් නිර්මාණය කිරීම සහ එමඟින් ඒවා වගා කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා දිරිගැන්වීම මේ තුළින් සිදුකරයි. මෙම බෝග නිවසේ ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි අතර වාණිජ වගාවට ද යොමු විය හැකිය. ඒ මඟින් ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රජාවන්ට දැරිය හැකි මිලකට ආහාර විකල්ප ලබා දිය හැකිය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට https://www.lesserknownfood.com වෙත පිවිසෙන්න.
Video Story