July, 21, 2016
දැන්වීම්කරණය සංකල්පයක් වශයෙන් ගත් කළ විවිධ සමාජ අවශ්‍යතාවන්ට අනුව කලින්-කලට වෙනස් මාවත් තුළ ගමන් කළේය. අතීතයේදී කට හඬ සහ ශබ්ද වශයෙන් ඵලදායී සන්නිවේදනය සිදු කෙරුණු අතර, අනතුරුව රූප, පුවත්පත් සහ ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍ය ඒ වෙනුවෙන් භාවිත කෙරිණි. විටින් විට සිහි කැඳවන තත්පර 30 ක රූපවාහිනී දැන්වීමක ඵලදායීතාව සහ වියදම් කාර්යක්ෂමතාව ඩිජිටල්කරණය හමුවේ අභියෝගයට පත්ව ඇති ආකාරය පිළිබඳ විමසීමේදී ඉහත කරුණ වඩාත් හොඳින් තහවුරු වේ. මන්ද, වර්තමානයේ පාරිභෝගිකයන් නියෝජනය කරන බහුතර පිරිස නිෂ්පාදන, සේවා සහ සන්නාමයන් පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා වැඩි වශයෙන් සමාජ ජාල වෙත නැඹුරු වීමයි.
ශ්‍රී ලංකාව තුළ ද, ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඉ-වාණිජ සංකල්පය තුළ තාක්ෂණික ව්‍යවසායකයන් විශිෂ්ට සහ නව්‍යකරණ සේවා රැසක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. වත්මන් පාරිභෝගිකයා, නිෂ්පාදන සහ සේවාවන්වලින් ඔබ්බට යමින් කිසියම් සමාගමක් සමාජ සුබසාධනය, මිනිසාගේ සෞඛ්‍යය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබඳව ද සිය අවධානය යොමු කරයි. විනෝදාස්වාදය සහ විනෝදාධ්යාපනය වෙනුවෙන් මෙන් ම ඔවුහු වර්ගවාදය වැනි සමාජ කරුණු වෙනුවෙන් ද සමාජ ජාල ඔස්සේ සිය හඬ අවදි කරති.
මෙම නව ප්රවණතා පිළිබඳ සැලකීමේ දී අලෙවිකරුවන් සහ දැන්වීම්කරුවන් සම්ප්‍රදායික බැමිවලින් මිදී පවතින සමාජ යතාර්ථය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. විනෝදාස්වාදය, විනෝද අධ්‍යාපනය වෙනුවෙන් මෙන් ම, අවංක හැඟීමෙන් යුතුව යහපැවැත්ම වෙනුවෙන් කැපවන සමාගම් මිනිසා විසින් අනුමත කෙරෙන අතර එම කීර්ති නාමය අනෙකා සමග බෙදා හදා ගැනේ. ඒ අනුව, අපි යළිත් වරක් අතීතයේ පැවති කට වචනයෙන් ප්‍රචාරණය කිරීමේ වකවානුවකට පිවිස ඇත්තෙමු. විටින් විට සිහි කැඳවීමේ සම්ප්රදායය දැන් වියැකී ගොසිනි.
ඉලක්කගත අන්තර්ජාල ප්‍රචාරණය, විනෝද අධ්‍යාපනික අන්තර්ජාල වීඩියෝ, සහභාගී උත්සව සහ තාක්ෂණික නවෝත්පාදන භාවිතාවන් දැන්වීම්කරණය තුළ ප්‍රබල බලපෑමක් ඇති කරයි. සමාගම්, සංවිධාන ඩිජිටල්කරණ අභියෝගයට සූදානම් කරවීමට පෙර අලෙවිකරුවන් සහ දැන්වීම්කරුවන් එහි ඇති බලය පිළිබඳ විශ්වාසය තැබිය යුතුය. සම්ප්‍රදායික මාධ්‍යයට සමගාමීව ඩිජිටල් මාධ්‍යයට පිවිසීම මගින් ප්‍රබල බලපෑමක් සමාජය තුළ ඇති කළ හැකිය. එය අනාගතය තුළ නොව; වර්තමානය තුළ සිදු වෙමින් පවතින්නකි.
නිමල් ගුණවර්ධන
ප්‍රධාන විධායක නිලධාරී
Bates Strategic Alliance
Video Story