රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් විසින් අරණායක නාය යාමෙන් අවතැන් වූ පවුල් වෙත නිවාස ඉදිකරදීම සඳහා මුල් ගල් තබයි

    August, 1, 2016

    පවුල් 20 ක් සඳහා නිවාස 20 ක්

    රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් විසින් අරණායක බුලත් කොහුපිටිය ප්‍රදේශයේ සිදුවූ මහා නාය යාමෙන් අවතැන් වූ පවුල් 20 ක් සඳහා නිවාස 20 ක් ඉදිකරදීම සඳහා වන මුල්ගල් තැබීම පසුගිය දා අරණායක ප්‍රදේශයේදී දී මෙසේ සිදුවිය.

    මෙම අවස්ථාවට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය, ප්‍රදේශයේ පරිපාලන නිලධාරින්, ප්‍රාදේශිය දේශපාලකයන්, රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් නිලධාරින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

    රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙයසීලන් ඥානම් මැතිතුමාගේ සංකල්පයකට අනුව අරණායක, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිදුවූ මහා නාය යාමෙන් අවතැන්වූ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර අදාළ ආයතන සමඟ මූලික සාකච්ඡා පවත්වමින් මෙන්ම ක්ෂේත්‍ර චාරිකාවන් හි නිරත වෙමින් මෙම ව්‍යපෘතිය යථාර්තයක් බවට පත්කරමින් පළමු නිවාස 20 ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම තෙක් කාර්යක්ෂම දායකත්වයක් සපයන්නට රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්හි මාණ්ඩලික අලෙවි කළමනාකරු සහ මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකාරක ප්‍රියන්ත ජයසිංහ මහතා සමත්විය.

    රජයෙන් වෙන්කර දී ඇති ඉඩමක ඉදිකෙරෙන මෙම නිවාස සඳහා රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් විසින් වැය කරන මුදල මිලියන 45 ඉක්මවන අතර අතර එක් නිවසක් වර්ග අඩි 781 කින් යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නියම කරන නිර්දේශයන් අනුව මෙම නිවාස සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සිදුවීම සුවිශේෂත්වයකි.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්හි මාණ්ඩලික අලෙවි කළමනාකරු සහ මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකාරක ප්‍රියන්ත ජයසිංහ මහතා මෙසේ පැවසීය, “දිවයිනේ ඇතිවන රුදුරු ස්වභාවික ව්‍යසනයන්හිදී ජන ජිවිත යථා තත්වයට පත් කරන්නට හැකි පියවර ගැනීම රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් සිය සමාජ මෙහෙවර කාර්යයේදී ප්‍රමුඛත්වයෙහිලා සළකනවා. රුපියල් මිලියන 45 ක් ඉක්මවන වියදමෙන් මෙසේ නිවාස 20 ක් ඉදිකරන්නේ අපගේ එම සමාජ මෙහෙවර ක්‍රියාවලියෙහි තවත් එක් වැදගත් වැඩසටහනක් බවට මෙය පත්කරමින්. සුනාමි ව්‍යාසනයෙන් දෙවිනුවර ප්‍රදේශයේ නිවාස අහිමි වූ පවුල් 50 ක් වෙත දෙවිනුවර කපුගම ප්‍රදේශයේ නිවාස 50 ක් ඉදිකර අපි භාර දීම සිදුකළේ 2006 වසරේදීයි. ඒ නිවාස 50 ඇතුළත් ප්‍රදේශය රයිනෝපුර ලෙසින් ද නම් කර තිඛෙනවා. එපමණක් ද නොවෙයි, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් හිසට සෙවණ අහිමි වූ ජනතාව මෙන්ම පොදු ස්ථාන ඉදිකිරීමේදී ඊට අවශ්‍ය සෙවණ සලසමින් කි්‍රසොටයිල් සෙවිලි තහඩු නොමිලේ ලබාදීම අපි නිරන්තරයෙන් සිදුකරනවා. ඒ අකාරයෙන් දියත් වන අපගේ සමාජ මෙහෙවර කි්‍රයාවලියෙහි වැදගත් අවස්තාවක් ලෙස අරණායක ප්‍රදේශයේ නිවාස 20 ඉදිකිරදීමේ ව්‍යාපෘතිය සැලකිය හැකියි. එයින් මෙම නිවාස හිමිවන පවුල් වෙත මහත් අස්වැසිල්ලක් හිමිවෙනවා නොඅනුමානයි.“

    මෙම ව්‍යාපෘතිය දියත් කරන්නට අනගි සහයක් රජයෙන් හිමි වූ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ජගත් මහෙන්ද්‍ර සහ අරණායක ප්‍රාදේශිය ලේකම් ඒ. එම්. ෆෙයිසල් යන මහත්වරුන්ට ද ස්තුති පූර්වක වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙම ව්‍යාපෘතියෙහි සමාරම්භය සනිටුහන් වූ මුල්ගල තැබීමේ අවස්ථාවට රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්හි අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු, ප්‍රධාන මූල්‍ය නිලධාරි අජිත් මනෝජ් වීරමන් යන මහත්වරුද සහභාගි විය.

    මෙම ව්‍යාපෘතිය මාස 3 ක් ඇතුළත සම්පූර්ණයෙන් නිම කර අදාළ පවුල් 20 වෙත බාර දීමට රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් බලාපොරොත්තු වෙයි.

    ඡායාරූපය 1 - විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන්ගේ සුරතින් මුල්ගල් තැබූ අයුරු
    ඡායාරූපය 2 - රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්හි මාණ්ඩලික අලෙවි කළමනාකරු සහ මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකාරක ප්‍රියන්ත ජයසිංහ මහතා රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු
    ඡායාරූපය 3 - කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වූ අයුරු