2026 මුල් මාස 09 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. ට්‍රිලියන 2ක් ඉක්මවා ආදායම් රැස්කරයි

    October, 2, 2026

    2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි.

    ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක් ලෙස වාර්තා වී ඇත. 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙය රු. බිලියන 398ක වැඩිවීමක් වේ.

    2026 වසර සඳහා අදාළ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රු. බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වන විට එම වාර්ෂික ඇස්තමේන්තුවෙන් 85%ක් සපුරා තිබේ.

    එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසය තුළ පමණක් රු. බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේ රු. බිලියන 216ක ආදායමට සාපේක්ෂව එය රු. බිලියන 72ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

    ඒ අනුව, 2026 වසරේ මුල් මාස නවය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අත්කරගෙන ඇති ආදායම් ප්‍රගතිය මගින්, වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව පෙන්නුම් කරන බවත්, බදු ගෙවන්නන් විසින් ස්වේච්ඡාවෙන් බදු ගෙවීම සඳහා වන පෙළඹවීමත්, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවයක් මේ සඳහා සෘජුවම බලපා ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.