කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 13 ඉක්මවූ වාර්තාගත පිරිවැටුමක්

    October, 9, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී යළිත් වරක් ඉතිහාසයේ ඉහළම වාර්තාව අලුත් කරමින් ඒකක 22,174.74 ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 76.75ක වර්ධනයක් අද දින වාර්තා විය.

    කෙසේවෙතත් S&P SL20 දර්ශකයේ ඒකක 0.84ක සුළු සෘණ වර්ධනයක් වාර්තා වූයේ අඛණ්ඩව දෙවන දිනටත් එහි පහළ යාමක් සටහන් කරමිනි.

    අද දින දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ රු. බිලියන 13.30ක සාපේක්ෂව දැවැන්ත පිරිවැටුමක් දිනය තුළ වාර්තා වීමයි.

    මේ සඳහා වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවේ කොටස් ගනුදෙනුවලින් ලැබී තිබුණි. එහිදී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු හරහා රු. බිලියන 5.31ක වටිනාකමකින් යුතු කොමර්ෂල් බැංකු කොටස් මිලියන 27.24ක් හුවමාරු වී තිබුණි. ඒ කොටසක් රු. 195 සිට රු. 200 දක්වා වූ මිල ගණන්වලටයි. මීට අමතරව කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. මිලියන 366ක පිරිවැටුමක් වාර්තා වී තිබෙන බව නිරීක්ෂණය කළ හැකිවේ.

    ප්‍රධාන වශයෙන් කොමර්ෂල් බැංකුව, ඩිමෝ, බුකිට් ඩාරා, කර්සන්ස් කම්බර්බැච් සහ වින්ඩ්ෆෝස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

    කෙසේවෙතත් සමාගම් 131ක කොටස් මිල පහළ යාම් අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට සෘණාත්මක දායකත්වයක් ලබා දී තිබුණු අතර අද දින මිල ඉහළ ගිය සමාගම් සංඛ්‍යාව 82 ක් වේ.