කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමට හරිස්චන්ද්‍රගෙන් තල්ලුවක්

    October, 17, 2025

    අද (17) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන සක්‍රීයභාවයක් නිරීක්ෂණය වූ අතර ගනුදෙනු ආරම්භ වී මුල් පැය 2 ඇතුළත දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමු වරට ඒකක 22,500 සීමාව ඉක්මවා යාමට සමත් වී තිබුණි.

    මේ අතර ඒ වන විට දෛනික පිරිවැටුම ද රු. බිලියන 5.7 මට්ටම ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි.

    මෙලෙස අද දින මුල් භාගයේ දී ඉහළ පිරිවැටුමක් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනුවක් හේතුවී තිබුණි. එහිදී හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී කොටස් 778,946 ක් එකක් රු. 3,300.00 ක් බැගින් හුවමාරු ව තිබුණු අතර ඒ හරහා රු. බිලියන 2.57 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

    කෙසේවෙතත් අදාළ කොටස් හුවමාරුවෙන් පසු හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි කොටස් මිල රු. 7,423.00 ක් දක්වා මිල පරාසයක් දක්වා ගනුදෙනු සිදුවීම විශේෂයෙන් නිරීක්ෂණය කළ හැකිවිය.

    වාර්තා වන අන්දමට එම සමාගමේ ප්‍රමුඛ කොටස් හිමියා වන ආචාර්ය ටී. සෙන්තිල්වේල් මහතාගේ ආයෝජන හස්තය වන Senthilverl Holdings (PVT) Ltd හට අයත් කොටස් හිමිකාරීත්වය මෙලෙස හුවමාරු වී ඇති අතර බව වාර්තා වේ. ඔහු හරිස්චන්ද්‍ර මිල්ස් පිඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 40%කට හිමිකම් කියා තිබුණි.