Gap Inc. සැපයුම්කරුවන්ගේ සමුළුවේදී බ‍්‍රැන්ඩික්ස් සම්මාන දෙකකින් බුහුමන් ලබයි

    August, 3, 2016

    ඇඟලූම් අලෙවියේ ලොව ප‍්‍රමුඛතම සමාගමක් වන Gap Inc. සමාගම විසින් ලබාදුන් විශිෂ්ඨතම සැපයුම්කරුට හිමි සම්මානය ඇතුළුව ප‍්‍රමුඛ පෙළේ සම්මාන දෙකක් දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය සමත් වී ඇත.

    මෙම සම්මාන පසුගියදා හොංකොං හිදී පැවති 2016 Gap Inc. සමාගමේ ගෝලීය සැපයුම් දාම වෙළඳ සමුළුෙවේදී ප‍්‍රදානය කරන ලදී. බ‍්‍රැන්ඩික්ස් විසින් Gap Inc. සමාගම වෙනුවෙන් ඉටුකළ ව්‍යාපාරික වටිනාකම, නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය, වේගය සහ නම්‍යශීලිභාවය, කලට වේලාවට භාරදීම, වෙළඳපොළ ගැටලූ සඳහා ප‍්‍රතිචාර දැක්වීම යන කරුණු මෙහිදී ඇගයීමට ලක්විය. මෙහිදී, බ‍්‍රැන්ඩික්ස් සමූහය වෙත දෙවන සම්මානය ලෙසින් කලිසම් සැපයුම්කරුවන් අතුරින් විශිෂ්ටතම සැපයුම්කරුවාට හිමි සම්මානයද ප‍්‍රදානය කරන ලදී.

    පසුගිය වසරේදී සැන් ෆ‍්‍රැන්සිස්කෝ හිදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Gap Inc සමාගමේ 2015 සැපයුම්කරුවන්ගේ සම්මානය දිනාගැනීමට සමත්විය.

    ඇමරිකානු ඩොලර් බිලියන 16 කට වැඩි අලෙවියක් තිබෙන ඇමරිකාව තුළ සිටින විශාලතම සමාගමක් වන Gap Inc. සමාගම සතුව පුළුල් ගෝලීය සැපයුම් පදනමක් තිබේ. මෙම සැපයුම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු බ‍්‍රැන්ඩික්ස් සමාගමට වඩා තරමින් විශාල වේ. Gap Inc. සමාගම විසින් ඇඟලූම්, ආයිත්තම් සහ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් සනීපාරක්ෂණ නිෂ්පාදන Gap, Banana Republic, Old Navy, Athleta, Intermix යන සන්නාම යටතේ අලෙවි කරයි.

    2016 වසරේ මෙරට වඩාත් වටිනාම අපනයන සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් බ‍්‍රැන්ඩික්ස් තෝරා ගන්නා ලදී. බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී. ශ‍්‍රී ලංකාව, අන්ද්‍රා ප‍්‍රදේශයේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා ඇඟලූම් නගරයේ සහ බංග්ලාදේශය තුළ තිබෙන බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා තුළ 48,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබයි.

    ධනංජය රාජපක්ෂ මහතා (ඡුායාරූප දෙකේම වමේ) Gap Inc. සමාගමේ ගෝලීය සැපයුම් දාමයේ උප සභාපති, නවීන් ඛාන්නා මහතා සහ ගෝලීය සැපයුම් දාමයේ විධායක උප සභාපති මයිකල් යී මහතා අතින් සම්මාන ලබාගන්නා ආකාරය.